Contact us now +61(0) 433 638 610

Articles

සුවඳ පද්ම

Posted in ජීවිතය,වෛද්‍ය විද්‍යා by on July 12, 2014

nelum

- මුනිදාස වංශපුර

අප දකින දහසකුත් මල් අතුරින් සුන්දරත්වයේ මෙන්ම පාරිශුද්ධත්වයේත්, උත්තරීතරභාවයේත් සංකේතය වන්නේ නෙළුම් මල යයි කිවහොත් එය අතිශයෝක්තියකැයි මම නොසිතමි. ගොහොරු මඩෙහි ඉපිද, ඉන් මිදී ඉහළ නැග මුළු ලොවම සුවඳවත් කරවන මෙම පුෂ්පයට බුදු සිරිතෙහි, බුදුදහමෙහි හා බොදු කලාශිල්පයන්හි දීද හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. අනුරපුර සමයේ නිමැවුනු සඳකඩ පහනටත්, පුන්කලසටත් පොළොන්නරුවේ ගලින් නිමැවුනු නෙළුම් පොකුණට සේම නිශ්ශංක ලතා මණ්ඩපයේ ගල් කුළුණුවලටත් නෙළුම් මලේ හැඩරුව එක්වුනේ, එදා සිටම එය අපේ හදවතට සමීපවූ බැවිනි.

ලංකාවේ පමණක් නොව ඉන්දියාව, නේපාලය, චීනය, කාම්බෝජය, වියැට්නාමය ආදී රටවල බොහෝ විට බුදුරුවක් නෙලා ඇත්තේ නෙළුම් මලක් හෝ නෙළුම් පෙති පාදම කොට ගෙනය. හෙල බොදුනුවන්ගේ මුදුන් මල්කඩවූ ශ‍්‍රී දළදා වහන්සේ වැඩහිඳුනුයේද රන් නෙළුමක් මතය.

ධනයට හා සෞභාග්‍යයට අධිපති දෙවගන ලෙස සැලකෙන ලක්ෂ්මිය රත් නෙළුම් මලක් අතින් ගෙන රත් නෙළුමක් මත වැඩහිදින්නී ය. සියලූ කලා ශිල්පයන්ට අධිපතිවූ සරස්වතී දේවිය වැහිඳින්නේද සුදු නෙළුම් මලක් මතය. මේ අතර ඉන්දියාවේ බාහායි බැතිමතුන් විසින් ගොඩනැගූ නෙළුම් දෙවොල නිර්මාණය කර ඇත්තේද පිබිදෙන නෙළුම් මලක ආකාරයෙනි. ඒ අනුව නෙළුම් මල බොදුනුවන්ගේ පමණක් නොව හැම බැතිමතෙකුගේම ආදර ගෞරවයට පාත‍්‍රවූ පුෂ්පයක් බව පෙනේ. රුවෙන් හා සුවඳින් පිරුනු එය සියපත, කමල, පද්ම, අන්බුජා, නිරාජ්, සරෝජ, පන්කජ, අරවින්ද ආදී නම් ගණනාවකින් හඳුන්වනු ලබන්නේද ඊට ඇති ඒ ආදරණීය බව නිසාම විය යුතුය.

මලෙහි පමණක් නොව පත‍්‍ර හා නටුවලත් සුන්දරත්වය රැඳුනු නෙළුම්, නෙළුම්බොනේසියේ (Nulumbonaceae) පවුලට අයත් ජලජ ශාකයකි. ඊට අයත් ශාක විශේෂ දෙකක් ලෝකයේ විවිධ රටවල විසිර පවතී. ඒ Nelumbo lutea යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සුදු නෙළුම් හා Nelumbo nucifera ලෙස හඳුන්වන රතු නෙළුම් ය. ලංකාවේ මෙන්ම ආසියාකරයේ බොහෝ රටවල පැතිර තිබුණද සුදු නෙළුම් වල නිජභූමිය උතුරු ඇමෙරිකාවයි. රත් නෙළුම් ආසියාව හා ඕස්ටේ‍්‍රලියාව නිජබිම් කරගත්තකි. මෙම මල් වර්ග දෙකම ශී‍්‍ර ලංකාවේ වියලිකලාපයේ වැව් වල අවුරුද්ද පුරාම පිපී තිබෙනු දැකිය හැකිය.

නෙළුම් වාර්ෂික ශාකයක් වන අතර, ෙරෙසෝමයක් වන එහි භූගත කඳ මඩට සවිව පවතී. එයින් පැනනගින පත‍්‍ර හා මල්, දිගු නටුවකින් යුක්තව ඉහළට වර්ධනයවෙයි. එතරම්ම සුනම්‍ය නොවන ඒවා වාත අවකාශ සහිත මුත් මැනවින් ශක්තිමත්ය. ඒ නිසා, නිම්ෆෙසියේ (Nymphaeaceae) කුලයට අයත් ඕලූ, මානෙල් ආදියේ මෙන් එහි මල් හෝ කොළ දිය මත පා නොවේ. ඒ වෙනුවට ජලතලයෙන් මදක් ඉහලට එස වී වැඬේ. අළු පැහැයට හුරු කොලපාටින් යුත් නෙළුම් පත‍්‍ර නොගැඹුරු කෝප්පයක මෙන් වලයාකාර හැඩයක් ගන්නා අතර වෘන්තය සවිවී ඇත්තේ එහි මධ්‍යයේ යටි පැත්තෙනි. හොඳින් වැඩුනු නෙළුම් කොළයක් සෙ. මී. 60 ක පමණ විශ්කම්භයකින් යුක්තවේ. ජලයෙන් තෙත් නොවන නෙළුම් කොළ මත වැටුනු පිණි බිඳු මුතු ඇටමෙන් දිළිසෙන විට නෙළුම් විලකට ගෙන එන්නේ චමත්කාරයකි.

ජලයෙන් ඉහළට නැගෙන නෙළුම් පොහොට්ටු හිරු උදාවත් සමග ක‍්‍රමයෙන් පුබුදු වෙයි. හිරු බැසයන හැන්දෑයාමයේ පෙති හකුළුවා ගනී. දෙවැනි තෙවැනි දිනවලදි යලි පුබුදින විට ඒවා වැඩිවැඩියෙන් පෙති විහිදුවාලයි. එහෙත් හතරවන දිනයේදී පිපුණු පසු සවස් යාමයේදී පෙති එකින් එක හැලී පරවයයි.

සුදු නෙළුම් මලෙහි පෙති ලා කහපාටට හුරු සුදු පාටක් ගන්නා අතර මැදින් මදක් එසවුනු කෙමිය ලා කහ පැහැයක් ගනී. ඒ වටාවූ කහපාට රේණු, සුදු පාටට හුරු පරාගධානි වලින් යුක්තය. මෙම වර්ණ සංකලනය නිසා සුදු නෙළුම් මලෙහි රැඳී ඇත්තේ කිව නොහැකි තරම් පිවිතුරු බවෙකි.

රතු නෙළුම් වල උප විශේෂ ගණනාවක් ඇති නිසා ඒවායේ පැහැයේ හා පෙති සංඛ්‍යාවේ වෙනස්කම් ඇත. එහෙත් ඒ හැමෙකක්ම සමාන හැඩරුව ගනී. ලා රෝස පාටෙහි සිට තද රෝසපාට දක්වාවූ පාට වලින් යුත් පෙති පිහිටන අතර සුදු නෙළුම්වල මෙන්ම කහවන් කෙමිය (ඩිම්බකෝෂය) වටා කහ පැහැති රේණු පිහිටයි. සෑම නෙළුම් මලකම ඩිම්බකෝෂය මණ්ඩලාකාර පැතලි හිසකින් යුක්තවන අතර එහි තැනින්තැන ගිළුණු ඩිම්බ හා සම්බන්ධ කලංක කුඩා බුබුළු මෙන් මතුවී පෙනෙයි.

නෙළුම් මල හැඩරුවින් මෙන්ම කායික විද්‍යාත්මකවද ඉතා සුවිශේෂී ලක්ෂණ පෙන්නුම් කරන්නකි. පරිසරයේ සිදුවන තාප වෙනස්වීම් හමුවෙහි තම දේහ උෂ්ණත්වය නොවෙනස්ව තබාගත හැක්කේ සතුන් අතරිනුත් පක්ෂීන්ට හා ක්ෂීරපායින්ට පමණි. ශාකවලට එවන් යාන්ත‍්‍රණ නැත. එහෙත් පුදුම සහගතලෙස, පිපුන නෙළුම් මලට එම සුවිශේෂී හැකියාව හිමිව තිබේ. පරිසර උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 10 කට පමණ අඩුවූවිටත් නෙළුම් මල තුල සෙල්සියස් අංශක 30 ත් 35 ත් අතර උෂ්ණත්වයක් පවත්වාගෙන යා හැකිබව පරික්ෂණ මගින් පෙනීගොස් ඇත. වෙනත් කිසිදු ශාකයක දක්නට නොලැබෙන මෙම ලක්ෂණය පරාගණය සඳහා මීමැස්සන් කැඳවාගැනීමට සුවිශේෂී වූ කායික විද්‍යාත්මක අනුවර්තනයකි.

පරාගණයෙන් පසු ඇතිවන නෙළුම් බීජ ඝණකම් පොත්තකින් ආවරණයවී ඇත. මේරූ පසු ජලයට වැටෙන බීජ, ඒවායේ ඇති වාත අවකාශ නිසා දියමත පාවී යාමෙන් ව්‍යාප්ත වේ. ඝණ ආවරණය නිසාම ඉතා අහිතකර කාලගුණ තත්ත්වයන්හිදී පවා දීර්ගකාලයක් නිරුපද්‍රිතව පැවතිය හැකිය. චීනයෙන් සොයාගත් අවුරුදු 1300 ක් පමණ පැරණි බීජ පවා හොඳින් ප‍්‍රරෝහණය වී අලූත් පැළ ලබාදී ඇත. බීජවලින් පමණක් නොව නෙළුම් අල ලෙස හඳුන්වන භූගත කඳින්ද පැල හටගනී. නියං සමයේ වැව් හිඳී සියලූ සතුන් හා ශාක මැරී ගියද යළිත් වැසි කාලය එලඹෙත්ම මෙම භූගත කඳන් දළුලා අළුත් පැළ ඇතිකරයි. මේනිසා වාර්ෂික ශාකයක් ලෙස හැඳින්වුවද සැබවින්ම ඊට දිගුකලක් නොනැසී පැවතිය හැකිය.

නෙළුම් ශාකයේ මල්, කොළ, දඬු, අල ආදී හැම කොටසක්ම ඖෂධීය ගුණයෙන් යුක්තය. මේනිසා එය වමනය, පාචනය, උණ, කැස්ස, සර්පවිෂ, ආහාර මාර්ගයේ තුවාල, අක්මා ආසාදන වැනි රෝග සඳහා බොහෝ ආසියාතික රටවල පාරම්පරික ප‍්‍රතිකාර ලෙස භාවිතා කෙරේ. දින හතක් පමණ ජලයේ දමා පොගවාගත් බීජ අනුභවයෙන් ස්ත‍්‍රීන්ගේ සරු බව වර්ධනය වෙතැයිද පැවසේ. එහෙත් මෙම ශාක කොටස්වල අඩංගු නුසිෆෙරීන් හා ඇපෝෆීන් වැනි සංයෝග නිසා අධික ප‍්‍රමාණ වලින් ගැනීම අහිතකරවීමටද පුළුවන.

නෙළුම් ගසේ සෑම කොටසක්ම අහාරයට ගන්නා අතර ඉන් ප‍්‍රධාන තැනක් ගන්නේ නෙළුම් අලයි. බී හා සී විටමින් වලින්ද කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් වැනි ඛණිජ වලින්ද පොහොසත් නෙළුම් අල ලිපිඩ අඩුවෙන් ඇති කෙඳි සහිත ආහාරයකි. මේ නිසා නගරයේ නෝනාවරුන් හා මහත්වරුන් තරබාරුව අඩුකරගැනීමට නෙළුම් අල සොයා සුපිරි වෙළඳසල් තුළ සරද්දී, වියලි කලාපයේ ගැමිදරුවන් හා මවුපියන් අවුකාෂ්ඨකය නොතකා තම ජීවිතය ගැටගසා ගැනීමට වැව් පතුල පීරති. ඔවුන්ගේ එදා වේල පිරිමැහෙන්නේද, මඩ යට සැගවුනු මේ නෙළුම් අලවලිනි.

නෙළුම් මල් වැව් අශ‍්‍රිතව වාසය කරන්නන්ගේ ජීවනෝපායකි. පුදබිමේදී එක් නෙළුම් මලකට රුපියල් දහයක් වැනි මුදලක් අයකළද වැව් දියේ බැස මල් සොයා වෙහෙසෙන දරුවන්ට ලැබෙන්නේ ඉන් සොච්චමකි. එහිදීද වාසිය අතරමැදියාටය.

සැබෑව එය බැවින් නෙළුම් මල් පුදන උවසු උවැසියන් නිවන් යාමට සැරසෙද්දී, වැව් දියේ බැස පොතක් පැන්සලක් ගන්නට වෙරදරන අහිංසක දරුවන් දෙස රත් නෙළුමක් අතින් ගත් දෙවගන නොබැලූවද, සුදු නෙළුම මත වැඩ හිඳින සරස්වතී දේවිය වත් ඔවුන් දෙස නෙත් හෙලන්නේ නම් නෙළුම් මලේ අසිරිය කියා නිමකල නොහැකිය.

මෙවන් පසු බිමක, අසල මල් කඩයෙන් සුදු නෙළුමක් මිලදී ගෙන දළදා මාලිගාව වෙත පිය නගන හැම විටකම, නෙළුම් මල දෙස බැලීමේදී අපේ සිතට නැගෙන සතුට හා සැනසුම අතරින් සියුම් වේදනාවක් මතුවීම වැලැක්විය නොහැක.

සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
සුදු නෙළුම කෝ

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>