Contact us now +61(0) 433 638 610

Articles

අද ලස්සන දවසක්. ඒත්…..

Posted in ආකල්ප,ජීවිතය,සාහිත්‍ය by on July 3, 2013

kachaya

Short Online Film that won the 2008 Cannes Online Competition: Historia de un Letreo (The Story of a Sign)
Director : Alonso Alvarez Barreda
Running Time : 04:50
Year : 2007
Country : Mexico/ U.S.A
Category : Short film



එක් දිනක් වයෝවෘධ අන්ධ මිනිසෙක් නගරයේ මිනිසුන් ගැවසෙන තැනක සිඟමන් යදිමින් සිටී. පසෙකින් දිස් වන්නේ පුවරුවක් සහ බෙලෙක් ටින් එකකි. පුවරුවේ දැක්වෙන්නේ ‘‘මා අන්ධ මිනිසෙකි. මට උදව් කරන්න’’ යනුවෙනි. බෙලෙක් ටින් එකේ ඇත්තේ කාසි එක දෙකකි. මහ මග යන දෙනොදාහක් දෙනා අතරින් එකෙක් දෙන්නෙක් ඉඳ හිට ඔහු දෙසට කාසියක් දෙකක් විසි කරන්නේ ය. ඒ ද ඕනෑවට එපාවටය. ඒ අතර හොඳින් ඇඳ පැළඳ ගෙන මහ මග ගමන් කරන එක් තරුණ මිනිසෙකුගේ ඇසට ඉහත කී අන්ධ මිනිසා හසු වේ. ඔහු යන ගමන නවතා නැවතත් හැරී විත් අන්ධ පුද්ගලයාව හොඳින් විමසයි. තරමක් කල්පනාකාරීව අන්ධ මිනිසා අසල ඇති පුවරුව අතට ගන්නා ඔහු එය අනෙක් පසට හරවා යමක් ලියා තමා යමින් සිටි ගමන යයි.

මොහොතකින් පෙර නොවූ විරූ පරිදි ඔහුගේ බෙලෙක් ටින් එකට කාසි මෙන්ම මුදල් නෝට්ටුද වැටෙන්නට පටන් ගනී. ඒ වැටෙන හැම කාසියකින්ම නැගෙන්නේ පෙර මෙන් ඕනෑවට එපාවට කාසි විසි කළ හඬට වඩා වෙනස් හඬකි. දවස අවසානයේ පුවරුව වෙනස් කළ අය නැවතත් අන්ධ මිනිසා අසලට එයි. මහල්ලා තමාගේ පුවරුව වෙනස් කළ පුද්ගලයා හඳුනා ගන්නේ ඔහුගේ සපත්තු හඬිනි. ඉතා කලබලයට පත් මහල්ලා නොඉවසිලිමත් ලෙසින් තමාගේ පුවරුවේ කළ වෙනස කුමක්දැයි විමසයි.

‘‘මම ඔබ ලියා තිබුණු දේ වෙනස් විදිහකට ලිව්වා.’’
‘‘අද ලස්සන දවසක්. ඒත් මම එය නොදකිමි.’’

වසර 2008 සිව්වැනි කැනාස් කෙටි චිත‍්‍රපට උළෙලේ පළමු ස්ථානය දිනාගත් අලොන්සෝ අල්වරස් බෙරේඩාගේ, හිස්ටෝරියා දි අන් ලෙට්රිරෝ නැමති කෙටි චිත‍්‍රපටයේ කථා සාරාංශයයි ඒ. මෙය විනාඩි පහක කෙටි චිත‍්‍රපටියකි. මෙම කතාව නොයෙක් ධනාත්මක චින්තන දේශන වලදීත්, නොයෙක් ආගමික දේශනවලදීත් අපි නිතර අසා ඇතුවාට සැක නැත. එහෙත් අලොන්සෝ අල්වරස් බෙරේඩාගේ කාචය තුළින් මෙහි සටහන් වී ඇත්තේ අපූර්ව කලා කෘතියකි. මුලින්ම ඉතා කෙටි රූප රාමු කිහිපයකින් නගරයේ විවිධ මිනිසුන්ගේ මනෝ භාවයන් ඉතා සියුම්ව පේ‍්‍රක්ෂකයා වෙත ගෙන එයි. විවිධ තාරාතිරම් වල සහ විවිධ වයස් කාණ්ඩ වල මිනිසුන් ඉතා අපූරුවට ඔහු තම කාචයෙන් සිතුවම් කර ඇත. මහල්ලාට මුදල් විසිකරන එක් තරුණයෙක් ඉලක්කයට එල්ල කරන ගලක් පරිද්දෙන් බෙලෙක් කෝප්පය වෙත කාසියක් විසි කරයි. මිනිසුන් පරිසරය නරඹයි. කුරුල්ලන්, ලේනුන්, මාළුන් ආදී සතුන් දෙස බලමින් විනෝද වෙයි. ඒ අතර ඔවූහු කෙතෙක් දුරකට තමා බඳු වූ අනෙක් මිනිසුන් දෙස බලනවා ද ? මහළු අන්ධ පුද්ගලයාගේ ඉරුණු සපත්තුව සහ වැදගත් පෙනුමකින් හෙබි මිනිසාගේ සපත්තු අතර වෙනස නොකී කතාවක් කියයි.

අප ලෝකය සහ මිනිසුන් දකින්නේ නිවැරදි කෝණයකින් ද ? හොඳින් හැඳ පැළඳ ගත් විධායක ශ්‍රේණියේ මිනිසුන් අතර සැබෑ මිනිසුන් සිටිය නොහැකි ද ? ඔහුගේ ගමන සංසුන් ය. ස්ථිරසාර බවක් ඇත. එමෙන්ම ඔහු සංවේදී අයෙකි. මහ මග දිව එන කුඩා දරුවෙක් ඔහුගේ ඇගේ හැපෙයි. ඔහු කෝප නොගනියි. ඉතා සැළකිල්ලෙන් දැන්වීම් පුවරුව වෙනස් කරන ඔහු අන්ධ මිනිසාගේ උරහිසේ අත තබා තම සෙනෙහස පා එතැනින් පිටව යයි. අසරණ මිනිසෙකුගේ උරහිත මත සෙනෙහසින් තබන අතකින් පවා ලැබෙන්නේ අසීමිත සැනසීමක් නොවේ ද ?

දැන් ඔහුගේ ටින් බෙලෙක්කයට වැටෙන කාසි වල හඬ පැහැදිළිය. ඒ හඬෙහි ස්ථීරසාර බවක් ඇත. අන්ධ මිනිසාට ඒ බව හොඳින් වැටහේ. පෙර මෙන් නොව බෙලෙක්කයටම අත ළං කොට කාසි වැටෙන විට මහල්ළා පුදුමයට පත්වේ. ඔහු පුදුමයට පත් වූ බව අප හඳුනා ගන්නේ මුහුණින් නොව කාසි වැටෙන හඬට සෙළවන කණෙනි. මේ සියලූ වෙනස් කම් සිදුවී අත්තේ බාහිර පරිසරයේ ය. බාහිර මිනිසුන් වෙනස් වන්නේ ඔවුන් වෙනස් කළ හැකි ක‍්‍රමවේදයක් ඇත්නම් නොවේ ද ? යම් කෙනෙකුට ලෝකය වෙනස් කරන්නට හැකියාවක් ඇත්තේ අදින ඇදුමෙන් හෝ දරන තානාන්තර වලට වඩා විමසිලි සහගතව කටයුතු කිරීමෙන් නොවේ ද ? ධනාත්මක චින්නයකින් සහ ආගමික දෘෂ්ඨියකින් මේ කතාව ග‍්‍රහණය කර ගත්තාට වඩා අතිශය පුළුල් දෘෂ්ඨියින් යුතුව කර ඇති මේ නිර්මාණය සැබැවින්ම විශිෂ්ට වන්නේ ද ඒ නිසාම ය.

මෙම නිර්මාණයේ පසුබිම් සංගීතය ලතින් ඇමරිකානු උරුවක් ගනී. එසේම කුරුල්ලන්ගේ හඬ, සපත්තු හඬ, බෙලෙක් කෝප්පයට කාසි වැටෙන හඬ, ඔරලෝසු කණිසම වැදෙන හඬ අපූරු චිත්ත රූප පෙළක් පේ‍්‍රක්ෂකයා තුළ ජනිත කරවයි. මේ සියලූ දේ ඉක්මවා තිර රචකයාගේත්, අධ්‍යක්ෂකවරයාගේත් පුළුල් දැක්ම ගැන අප තුළ ඇති වන්නේ හෘද්‍යාංගම බවකි.

- කැමරා මෑන්

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>