Contact us now +61(0) 433 638 610

Articles

සුනාමිය ආවේය – ෆීනික්ස් නාවේය

Posted in කාලීන by on December 13, 2012

tsunami 2004 galle face

2004 දෙසැම්බර් 26 දින ඇතිවූ සුනාමිය සියලූ ශී‍්‍ර ලාංකිකයන්ගේ මතකය කැළණි තිස්ස රජු දවස දක්වා ගෙන ගියේය. ඓතිහාසික කථා පුවතක් වුවද එදා ඇතිවන්නට ඇත්තේද සුනාමියක්ම වන්නට ඇත. එකල අප උගත්තේ මුහුද ගොඩ ගැලීම ගැන නොව කැළණි තිස්ස රජු රහතන් වහන්සේ නමක තෙල් කටාරමක දමා මරණයට පත් කිරීම නිසා දෙවියන් කෝප වීමේ ආදීනව ගැනය.

පෙර අපර දෙදිග බොහෝ රටවල ෆීනික්ස් කුරුල්ලා ගැන කියවෙන විවිධ ප‍්‍රබන්ධ ඇත්තේය. ගී‍්‍රක මිත්‍යා කථාවලට අනුව වසර 500 – 1000 අතර කාලයක් ජීවත් වෙන මෙම කුරුල්ලා අවසානයේ ගිනි ගෙන අළු දූලි බවට පත් වේ. එහෙත් ඊට පෙර එම කුරුල්ලා තමාටම කියා කූඩුවක් තනා ගනී. කුරුල්ලා ගිනි බත් වන්නේ එසේ තනා ගත් කූඩුවද සම`ගිනි. එහෙත් එකී අළු දූලි මත නැවුම් ෆීනික්ස් බිජු ඇතිවී නැවතත් ෆීනික්ස් කුරුල්ලෙක් ඉපදෙයි.

සුනාමිය ඇති වී වසර අටක් ගෙවී යද්දී ඒ ගැන වෙනත් දෘෂ්ඨි කෝණයකින් බැලීමට කැළණි තිස්ස රජුගේ අමනොඥ කි‍්‍රයාවත්, ෆීනික්ස් කුරුල්ලාගේ පුනරාගමනයත් ගැන අවධානය යොමු කිරීමට සිතුවෙමු. කෙනෙක් ඉතිහාසය දෙස අප බැලිය යුතු දෘෂ්ඨි කෝණයන් බොහෝමයක් ඇති අතර ආගම, විද්‍යාව, ප‍්‍රබන්ධ, විවිධ නිර්මාණ හා ඓතිහාසික ලේඛන මින් කිහිපයකි. එහෙත් මෙම කරුණු තුළින් ඉතිහාසය ගැන අපට ඇති වනුයේ නිවැරදි දැනීමක්ද ?

වායු ගෝලයකින් වටවී ඇති ජල හා පෘථිවි ගෝලය නිරන්තරයෙන් ස්වභාවික වෙනස් වීම් වලට භාජනය වෙමින් පවතින්නේය. කෙනෙක් පුදුම විය යුත්තේ මෙබඳු ස්වභාවික විපත් නොමැති ලෝකයක උපත ලැබුවා නම් පමණි. සැබවින්ම මේ මිහිපිට සිදුව ඇති අතිශ්‍ය දරුණු ස්වභාවික විපත් සිදුව ඇත්තේ මිනිසා මිහිතලය ජය ගැනීමට බොහෝ කාලයකට පෙරය. එකල දෙවියෝ කවර කරුණක් අරඹයා කෝප වන්නට ඇත්දැයි විමසා බැලීම ඔබටම බාර කරමි. මෙම ලියුම්කරු ඉන් අදහස් කරනුයේ වර්තමාන මිනිසාගේ කි‍්‍රයාකාරකම් හා ස්වභාවික විපත් අතර සම්බන්ධයක් නොමැති බව නොවේ. මිනිසා හිටියත් නැතත් ලෝකය ස්වභාවික ආපදාවන්ගෙන් සිස් නොවන බවය. එසේ නම් අප විසින් කළ යුතුව ඇත්තේ කුමක්ද ?

වැටෙන විට නැගිටීමය. එනම් ෆීනික්ස් මෙන් අළු දූළි මතින් නැගී සිටීමය. විනාශය ආශිර්වාදයක් කර ගැනීමය. නැතිනම් පරාජය ජයග‍්‍රහණයක් බවට හරවා ගැනීමය. ලෝකයේ සදාකාලිකව යෙහෙන් වැජඹුනු කිසිම ජාතියක් නොමැතිය. එදා බලවත් රාජ්‍යයන් අද අන්ත අසරණය ? අද දවසේ ලෝකය හූරා කමින් බලවත් වෙන්නට වෙර දරන අය ගැන කිව හැක්කේද එයම නොවේද ? කිසියම් ජාතියකට සිය වස් පහක් තබා දෙක තුනක් යෙහෙන් වැජබීමට ලැබේ නම් එයද ආශ්චර්්‍යයකි. ජාතියක නැගීමත්, විනාශයත් යන දෙකම සිදුවන්නේ ස්වභාවික අපළ උපද්‍රව නිසාම නොව ඒ ඒ කාලවලදී විද්‍යාමාන වන ජාතියක සමස්ථ දෘෂ්ඨියත්, ඊට ලැබෙන නායකත්වයේ ස්වභාවයත් යන සාධක නිසාය. කිසියම් රටක හෝ ආයතනයක නායකත්වය විසින් අතිශ්‍ය පුද්ගලික ගමනක් යාම ෆීනික්ස් කුරුල්ලාගේ විනාශය සිහිපත් නොකරයිද ? ෆීනික්ස් කුරුල්ලාගේ විනාශය සිදුවන්නේද ඌටම කියා නිවසක් සදා ගත් කල්හිය. රටක් ජාතියක් විනාශය කරා යන්නේද පුළුල් දැක්මක් නැති කල්හිය.

සුනාමියෙන් වසරක් ඇතුළත ජපන්නු නැවත පෙරටත් වඩා ඉදිරියට ගියෝය. ලංකාවේ සුනාමිය සිදු වූ විට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බලවත් රටවල් කියා සිටියේ පස්චාත් සුනාමී මරණ සංඛ්‍යාව සුනාමියෙන් සිදු වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි විය හැකි බවය. වාසනාවකට මෙන් ඔවුන්ගේ මතය බොරු විය. අප දන්නා පරිදි පස්චාත් සුනාමි මරණ සිදු වූයේ නැති තරම්ය. එසේ වූයේ ඇයි ? විපතේදී ජාති ආගම් කුළ භේද පසෙක ලා අනෙකාට පිහිට වීමේ උතුම් ගුණාංග වලින් ශී‍්‍ර ලාංකිකයා අදටත් පොහොසත් නිසාය. එදා විපතට පත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව හැරෙන්නටත් පෙර යමක් කළේ සහෘද ජනතාවය. එහෙත් විපතේදී හදවත් උණු වී අනුන් වෙනුවෙන් වැඩ කරන ලාංකිකයාට ජපන්නු මෙන් එකාවන්ව නැගී සිටීමට නොහැක්කේ ඇයි ?

දැන් නැවතත් කැළණි තිස්ස රජු දෙසට හැරෙමු. රහතන් වහන්සේ නමක මතු නොව කවරෙකු වුවද උතුරන තෙල් කටාරමක දමා ඝාතනය කිරීම නිවැරදි විය නොහැකිය. රහතන් වහන්සේ නමක් යනු බුද්ධ පුත‍්‍රයෙකි. එනම් බුදුහු දෙසූ ධර්මයේ ප‍්‍රතිඵල සාක්ෂාත් කළ උතුමෙකි. එසේ වුවද රහතන් වහන්සේ නමක ඝාතනය කිරීමෙන් දෙවියෝ කෝප වීම නිසා විපතට පත් වූයේ රජුට වඩා ජනතාවය. ඇමෙරිකාව සදාම් හුසේන්ට හා ගඩාපිට එරෙහිව කළ යුද්ධ වලදීත් ආසාධාරණයක් සිදුවුනේ බහුතර සාමාන්‍ය ජනතාවට නොවේද ? දේව කෝපය යන වචන යථාර්ථය අදුරු පටළයකින් වසා දමා ඇති සේය. එවැනි කර්ම විපාක අර්ථ දැක්වීමකට බුදු දහම මිනුම් දණ්ඩක් කර ගැනීම නුසුදුසු බව අපගේ වැටහීමය. එහෙත් අතිශ්‍ය පුද්ගලික පවුලේ ප‍්‍රශ්නයක් විසදා ගැනීමට රහතන් වහන්සේ නමක ඝාතනය කිරීමෙන් පෙනී යන්නේ කැළණි තිස්ස රජුගේ අඥානකමය. එදා කැළණිතිස්ස රජු සිදුකළ එම අ¥රදර්ශී කි‍්‍රයාව ගැන සියවස් විසි ගණනකට පසුවද ජනතාව සිහි කරන්නේ බලවත් අප‍්‍රසාදයකිනි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ ස්වභාවික හේතුවක් නිසා ඇතිවන්නට ඇති සුනාමිය පවා රජුගේ ගිණුමට බැර වීමය. මෙය සියළු නායකයෝත්, නායකත්වය අපේක්ෂා කරන්නා වූ සියළු දෙනාත් අවබෝධ කර ගත යුතු කරුණක් නොවෙන්නේද ?

මීළඟට ෆීනික්ස් කුරුල්ලා නැවත උපත ලැබීමට මෙතරම් කල්ගත වන්නේ ඇයිදැයි විමසා බලමු. ශී‍්‍ර ලාංකිකයා අන් අයගේ විපතේදී හදවතින්ම උදව් උපකාර කිරීමට සැදී පැහිදී සිටිති. ගමට පුස්ථකාලයක්, රෝහලකට ඇදන්, නියඟයට වතුර බෝතල්, සැත්කමකට ආධාර යනාදී නොයකුත් දේ වෙනුවෙන් අපි ආධාර එකතු කරමු. නොයේක් ආගමික ස්ථානයන් ස්ථාපනය කිරීමටත්, ඒවා වැඩි දියුණු කිරීමටත් අපි ආධාර කරමු. හිටි හැටියේ පහළ වන නානාප‍්‍රකාර සුපර් ස්ටාර්ස්ලා අපි අපේ කර තබාගෙන යමු. කොටින්ම මෛතී‍්‍රයෙන් සහ කරුණාවෙන් අපි පොහොසත් වෙමු. එහෙත් මුදිතාවෙන් අපි පොහොසත් වෙමුද ? එනම් ස්වාධීනව සිතමින්, සැබෑ වෙනසක් කරමින් දියුණුව කරා යන මිනිසුන්ට අත දීමට අප සූදානම්ද ? දේශපාලනය වැනි සකලවිධ බාධක ගැන නොසිතා තම දෙපයින් නැගී සිටිමින් දියුණුව කරා යන අයට අප වචනයකින් හෝ අනුග‍්‍රහය දක්වා ඇත්ද ?

ජපානයේ සෝනිලා, ජර්මනියේ කාල් බෙන්ස්ලා, ඇමරිකාවේ ස්ටීව් ජොබ්ස්ලා දෙස බලන්න. ඔවුන් හිරෝහිතෝලා, හිට්ලර්ලා හෝ ඔබාමාලාට වඩා තම තමන් ඉපදුනු රට වලට කර ඇති සේවය අතිමහත්ය. රටක් හෝ පුද්ගලයෙක් සාර්ථකත්වය කරා පිය නගන්නේ දේශපාලඥයන් මෙන් භාවිතා කරන වචන ප‍්‍රමාණයෙන් නොව බුද්ධිමත්ව සිතා බලා හෙළන දහඩියේ පමණටය. අද දවසේ අපගේ කාර්ය බාරය විය යුත්තේද සැබෑ වෙනසක් කිරීමට උත්සාහ ගත් සෝනිලා, බෙන්ස්ලා හා ස්ටීව් ජොබ්ස්ලා බ`දු රංබණ්ඩලා, සින්නතම්බිලා, ෆනෑන්ඩෝලා සහ මොහොමඞ්ලා බිහිකිරීමට උරදීමය. එකල්හි එක් සුනාමියක් නොව කීපයක් ආවද අපට ලෝකයා ඉදිරියේ දණින් වැටීමට සිදුනොවනු ඇත. මේ සදහා අවශ්‍ය වන්නේ මුදිතාව දියුණු කර ගැනීමය. එනම් සාර්ථකත්වය කරා පිය නගන අපේ අය ගැන සතුටු සිතින් බැලීමය. ඔවුන්ට උදව් කිරීමය. එය දුක් විදින මිනිසුන් කෙරෙහි නිසඟයෙන්ම අප තුළ ඇති වන කරුණාව මෙන් පහසුවෙන් ඇති නොවේ. එහෙත් ෆීනික්ස්ගේ පුනරාගමනය අපේක්ෂා කරන සියලූ දෙනා මේ ගැනද විමසා බැලීම සුදුසු නොවන්නේ ද ?

- සාමන්ත තැන්නගේ

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>