Contact us now +61(0) 433 638 610

Articles

වැද්දෝ

Posted in ඉතිහාසය by on August 17, 2013

- හේමමාලා හේරත්

වැද්දන් බිහිවූයේ යක්ෂ හා ඉන්දීය ගෝත්‍ර සංකලනයකිනි. ලක් ඉතිහාසයේ සඳහන්වෙන අයුරින්, කඳුරට කැලෑවට පලවා හරින ලද කුවේණිය හා විජය කුමරාගේ , දරු දෙදෙනාවන ජීවහත්ථ හා දිසාලාගෙන් වැද්දෝ බිහි වූවෝය. එතැන් සිට ඉතිහාසයේ පෙනෙන්නේ, යක්ෂ ගෝත්‍රිකයන් සියල්ල, ‘වැද්දන්’ ලෙස හඳුන්වනු ලැබූ බවකි.
මහාවංශයට අනුව පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ, ඔහුගේ හමුදාවේ, වැද්දෝ විශාල සංඛ්‍යාවක් වූවෝය. ඔවුනට මනා අවි භාවිතයක් ලැබුණු අතර, කඩු, දුනු වැනි අවි ආයුධ මෙන්ම යුද ඇඳුම් කට්ටලයක්ද ඒ සමග ලැබුණේය. මින් පෙනීයන එක් කරුණක් නම්, රටෙහි ඇතිවූ, සෑම යුද්ධයකටම පාහේ මොවුන් සම්බන්ධවී ඇතිබවය.

17 සියවස මුල් කාලයේ රාජසිංහ රජුගේ හමුදාවේ මොවුහු සේවය කලෝය. රොබට් නොක්ස්ගේ ‘Historical Relation of the Island Ceylon’ ග්‍රන්ථයට අනුව, උතුරුමැද පලාතේ ‘හුරුල්ල’ ආසන්නයෙහි සිටි වැද්දෝ, අන් හේවායන් මෙන්ම රාජසිංහගේ හමුදාවට එක්වී, තම දුනු හී වලින් දස්කම් පෑවෝය. එහෙත් නොක්ස්ට අනුව, යුද්ධයෙන් පසු ඔවුන් තව දුරටත්, කැලෑ පීරා රට ඇතුලට ගමන් ගත් බවක් පෙනේ. මින් පෙනෙන්නේ ඔවුන් තුළ, යුද්ධයට අකැමතිබවක් තිබූ බවෙකි. ( රාජසිංහ රජුට වැදි බිසවක් සිටි බවක්ද කියැවේ. තමන්ගේ පරම්පරාව ගැන වැද්දෝ ආඩම්බරයෙන් කතා කරති. විශේෂයෙන් රජ පවුල් හා සම්බන්ධකම් තිබූ බව කීමට ආශා කරති. ඔවුනට අනුව ‘රත්නවල්ලි’ නමැති රජ කුමරියක වැද්දෙකු පාවා ගත් කතාවක් ඇත. එමෙන්ම නගරයේ කුණු බක්කි ඇවිස්සූ, වැදි තරුණයෙකු සිංහයෙකු මරා දමා, රජුගේ දියණියක සරණ පාවා ගත් අන්දමත් පවසති.)

සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ, පණ්ඩුකාභය සමයේ, රටවැසියන් ලැබූ සමානාත්මතාව නිසා, ආදිවාසීන් හා ඉන්දීය සංක්‍රමනිකයන් එකිනෙකා සමග සීඝ්‍රයෙන් මිශ්‍ර වීමෙනි. ඒ සමගම සිංහල ජාතිය අතරම කැපී පෙනනා කොටස් දෙකක්ද බිහිවූයේය. තමන් පදිංචි ප්‍රදේශය අනුව බෙදීගිය මොවුහු ඇඳුම් පැලඳුම්, සිරිත් විරිත්, කතාබහ, අදහස් උදහස් හා සිතුම් පැතුම් වලින් එකිනෙකාට වෙනස් වූවෝය. බටහිර වෙරලාසන්නයෙන් බිහිවූ එක් කොටසක් ‘පාත රැටියන්’ වූ අතර ඔවුහු, එහි පැමිණි සියලු ආක්රමණිකයන් හා සංක්‍රමණිකයන් හා මිශ්‍ර වූවෝය. කඳුරට වාසය කල ‘උඩරැටියෝ’ එහි පදිංචිවූ ජන කොටස් සමග මෙන්ම අනිවාර්යෙන් වැද්දන් සමගද මිශ්‍ර වූවෝය. මෙසේ සිදුවූයේ, යුද්ධයකින් පසු ගම්මානවල වාසයට සමහර වැද්දන් පෙළඹීම නිසාවෙනි.

වැද්දන්, වනය අත් හැර ගම් බලා ආවේ මුල් කාලයේ සිටමය. උතුරු පළාතේ දකුණු කොටස්වල, උතුරු මැද, ඊසාන හා නැගෙනහිර පලාත්වල වූ ගල් ගුහාවල මොවුන් වාසය කල බවට සලකුණු දැකිය හැක. (තුන්වන ශත වර්ෂයේ මැදභාගයේ හා පලවෙනි සියවසේ මුල්භාගයේ මෙම ගුහාවල කොටන ලද, මුල් අකුරුවලට සමාන සංකේත සිය ගණන් දැකිය හැක ) බුද්ධාගම ලංකාවට ඒමත් සමග බෞද්ධ ශ්‍රමනයන් ඔවුන් සිටි මේ ගුහාවල වාසය කලබවක් පෙනේ. වැද්දන් ඒ වෙතින් කැමැත්තෙන් ගියාදැයි හෝ ඔවුන් එලවා දැමුවාද යන්න ගැන දැන ගත නොහැක්කේය. එහෙත් ඔවුන් සාමකාමීව සිටීමෙන් පෙනෙන්නේ ඔවුන් කැමැත්තෙන් ඒවා අත් හැර ගිය බවකි. නැත්නම් සිංහල පාලකයින්හට බිය නිසා මග හැර ගිය බවකි.

කෙතරම් වනගතව වාසය කරන වැද්දෙකුගේ වුවත් එක්තරා අන්දමක, මිශ්‍රණයක් තිබෙන බවක් ඔවුන්ගේ සමේ පැහැය හා කෙස්වලින් දැකිය හැකිය. ඔවුන්ගේ දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස පෙනී යන්නේ තමන්ගේ මුල් භාෂාව එලෙසෙම රැකගෙන ඒමය. බුද්ධාගම ලක්බිමට පැමිණීමත් සමගම එය උතුරු ප්‍රදේශයද, විශේෂයෙන් නාගදීපයද ඇතුලුව, දිවයින පුරා විසිර ගොස් තිබූ බව, පැරණි කැටයම්වලින් දැකිය හැකිවේ. පාලි භාෂා භාවිතයද මේ එක්කම වාගේ දිවයින පුරා පැතිර ගියේය. එහෙත් වැද්දන් තමන්ගේ භාෂාව භාවිතා කිරීම නතර නොකලෝය. එමෙනම, තමන්ගේ හුරුපුරුදු ‘කන්දේ දෙය්යා’ ඇදහීමද නතර නොකලෝය. ‘දෙවියන්’ වඳින සංකල්පයක් නැති බුද්ධාගමට වඩා, දුකක් හෝ ලෙඩක් , කරදරයක් ඇති අවස්තාවක, නොපෙනෙන බලගතු දෙවි කෙනෙකුට වැඳීමෙන් ඔවුන් සැනසීමක් ලැබුවා වෙන්නට ඇත. බුද්ධාගම ඇදහීමේදී, දෙවියන් වැඳීම ඇති වරදක් ඔවුන් නොදුටුවා වෙන්නට ඇත.

මිනිස් හිස්කබල් භාවිතා කරමින් මෙකල සිටි මානව විද්‍යාඥයන් කරන ලද පරීක්ෂණවලට අනුව පෙනෙන්නේ, වැද්දන්, ආදීවාසින්ගෙන් පැවත එන්නවුන් බවය. එමෙන්ම සිංහලයන් යනු, ආදිවාසීන් හා මෙරටට සංක්රමණයවූ ඉන්දීය ජාතීන්ගේ මිශ්රණයකි. වැද්දන් හා සිංහලයන් අතර යම් සමාන ලක්ෂණ දැකිය හැක. එමෙන්ම වැද්දෝ හා සිංහලයෝ අනිවාර්යෙන්ම, උතුරේ සිටි දෙමළ ජනතාවට හා ඉන්දීය චෝල ජනතාවට වඩා වෙනස් වූයෝය.

එහෙත් පැරණි භාරතයේ, ද්‍රවිඩ හෝ, ඉන් පෙර සිටි ආර්යන් හා යම් සමානකමක්, මිශ්‍රවීමක් වැද්දන් වෙතින් දැකිය හැකිය.
පසුකාලීන වැද්දෝ මෙසේ කොටස් තුනකට බෙදිය හැක.

1. වනගත වැද්දෝ
2. ගම් වැද්දෝ
3. දෙමළ කතා කරන වැද්දෝ

මින් මුල් කොටස දක්නට ඇත්තේ ඉතා අඩුවෙනි. මොවුහු කඳුකරයේ නැගෙනහිරට වෙන්නට දැකිය හැක. නිල්ගල හා මාදුරු ඔය අවට දක්නට හැක.
ගම් වැද්දන් ලෙස දැකිය හැක්කේ, ගම්වල පදිංචිවූ සිංහල ජනතාව හා මිශ්රවූවන්ය. මොවුන් උතුරු මැද පලාතේ විශේෂයෙන් හුරුල්ල වැව අසලද, මහවැලි ගඟේ පහල කොටස්වලද, එමෙනම් නැගෙනහිර පලාතේ ගම්වලද දැකිය හැක. දෙමළ කතා කරන වැද්දෝ ත්රිකුණාමලය හා මඩකලපුවට උතුරින් දැකිය හැකිවේ. දෙමළ ගම් ආසන්න නිසා මොවුන් එම භාෂාව ආදේශ කරගත්තා යැයි සිතිය හැක.

මේ හැර උතුරු මැද පලාතේ උතුරට වෙන්නට දැකිය හැකි තවත් කොටසකි. දඩයක්කාරයන් වන මොවුහු සිංහල කතා කරති. දඩයම් කරන්නේ වැද්දන් මෙනි. එහෙත් මොවුන් තමන් හඳුන්වන්නේ ‘වන්නියන්’ (වන්නියේ ජීවත්වන්නවුන්) ලෙසිනි.

වැද්දන් මෙන්ම, මොවුන් ගොවි කුලයෙන් පැවත ආවුන් බව මොවුන් පවසන්නේ ආඩම්බරයෙනි.

එදා මෙන් තාමත් වැද්දෝ අප හදවත් තුල කුතුහලයක්, හා විමසිල්ලක් ඇති කරමින් ජීවත් වෙන්නෝය.

(H. Parker ගේ නමැති ‘ Ancient Ceylon’ ග්‍රන්ථය ආශ්‍රිතව රචනා කරන ලදී…)

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>