Contact us now +61(0) 433 638 610

Articles

වැදි තොරතුරු

Posted in ඉතිහාසය by on September 9, 2013

- හේමමාලා හේරත් | H. Parker f.a ‘Ancient Ceylon’ නැමති ග්‍රන්ථය ආශ්‍රිතව රචනා කරන ලදී…


ශරීර ලක්ෂණ

වර්ගය අනුව වැදි ජනයා දුඹුරු වර්ගයකටත්, සිංහලුන් ලා කහ පැහැ වර්ගයකටත් අයත්වේ. එහෙත් මූලික වශයෙන් මේ දෙවර්ගයම ඔලිව් මිශ්‍ර කහ පැහැයක් ගත්තවුන් ලෙස හැඳින්විය හැක

ගම් හා කැලෑ වැදි ජනයාගේ සම රතට හුරු දුඹුරු පැහැයක් ගනී. උඩරට කුලහීන ජනතාව හා මොවුන්ගේ සමේ පැහැයේ වෙනස දැනගත හැක්කේ යාන්තමිනි. එහෙත් සමහර කැලෑ, ගම් හා වෙරළබඩ වැදි ජනතාව ද්‍රවිඩ ජනයා හා මිශ්‍ර වීම නිසාදෝ තද දුඹුරු කලු පැහැ සමක් ඇත්තෝය.

වැදි ජනයාගේ රතු දුඹුරු පැහැය කැපී පෙනෙන ලෙස දැකිය හැක්කේ උඩරට සිංහලයන් අතරේය. මින් සමහරු තද තඹ පැහැයක් ගනිති. මෙවන් පැහැයක් දෙමළ මිනිසුන් අතර සොයාගත නොහැක්කේය. ලා දුඹුරු කහ පැහැය සිංහලයන්ට උරුම වෙන්නට ඇත්තේ ගංගා නදිය ආශ්‍රතව වාසය කළ මුල් ජනපදකරුවන්ගෙන් බව කියවේ. අද දක්නට ලැඛෙන වර්ණ සෑදෙන්නට ඇත්තේ පසු කාලයකදී විවිධ ජාතීන් හා ඇතිවූ මිශ්‍රණ නිසා විය හැක.

වැදි මිනිසුන් සාමාන්‍ය සිංහල මිනිසුන්ට වඩා කුඩාය. මොවුහු අඩි හතරේ සිට පහ දක්වා උස් වෙති. විශේෂයෙන් කැලෑ වල ජීවත් වන වැදි මිනිසුන් මිටිය. ප්‍රමාණයෙන් කුඩාය. මොවුහු පටු උකුල් හා දුර්වල පාද ඇත්තෝය. එහෙත් මීවදයක් කඩා ගැනීමට ගොස් එක තැන පැය ගණනක් හිඳගෙන සිටීමටත්, ගොදුරක් දුටු විට දැඩි ජවන ශක්තියකින් හා කඩිසරකමකින් හැසිරීමටත් ඔවුන්ට හැකියාවක් තිබේ.

ගම් වැද්දන්ගේ නාස් සෘජුය. තොල් මහතය. තියුණු කම්මුල් ඇටද, හීන් උඩු රැවුල් සහ කෙටි කෙස් ඇත්තෝය. මෙහිදීද ඔවුන් සමානවන්නේ රෝමයෙන් පිරීගිය පහතරට සිංහල ජනතාවට වඩා උඩරට වැසියන්ටය.

මොවුන්ගේ කෙස් දුඹුරට හුරු කලු පැහැවේ. සාමාන්‍යයෙන් වැදි ජනයා කෙස් පසුපසට පීරා ගැටගසා ගෙන සිටියද, දඩයම් කරන වැදි මිනිසුන්ගේ කෙස් නිතරම ඇත්තේ මුදා හැරලාය. සමහරුන්ගේ හැඩපලු ගෙතිලාය. එහෙත් ඔවුනට කැරළි ගැසුනු කොණ්ඩා නැත. එසේ කැරළි ගැසුනු කොණ්ඩා ඇත්තේ පහත රට සිටිනා කුලහීනම පෙළපත යැයි සැලකෙන “කින්නර” වර්ගයාටය. (මොවුන් වියන්නන් ලෙස හඳුන්වා ඇත) මොවුන් කිසිවිටකත් දඩයම් කිරීම හෝ මසුන් මැරීම සිදු නොකරන්නෝය. ඔවුන්ගේ ජීවිකාව වන්නේ පැදුරු විවීමය. ඊට අමතරව සතුන් ඇතිකිරීම, හෝ වී වගාව කළෝය. ඔවුන් භාවිතා කරනා වෙනත් භාෂාවක් ඔවුනට නැත. ඇදහූයේ සිංහලයන් මෙන්ම බුද්ධාගමය. දිවයිනේ පහත්ම කුලය ලෙස සම්මත රොඩී කුලයටද වඩා මොවුන් පහත් බැව් කියනු ලැබේ. එහෙත් අද මෙවැනි කුලයක් තිඛෙනවාද යන්න සැක සහිතය.


වාසස්ථාන
කැලෑ වැද්දෝ නිතර සිය වාසස්ථාන ලෙස තෝරා ගත්තේ ගල් ගුහා ය. ඔවුන් ඉදිරියට නෙරා ගිය ගල්කුලක් වටා කෝටු අසුරා එය වඩාත් ආරක්ෂාකාරී ලෙස සකස් කළහ.
උණුසුම්, වියළි කාලයේ ඔවුහු දිය සිඳීගිය ජලාශ අසල පදිංචිවූහ. ඒ ජලය බීමට එන සතුන් දඩයම් කිරීම සඳහාය. මෙසේ උස්බිමෙන් පහත් බිම්වලට මාරුවුවත්, මී වද කැඩීම සඳහා ඔවුන් ඒ අසල පදිංචි වූයේ නැත. ඒ වෙනුවට කළේ ඒ කරා දිනක දෙකක සංචාරයක් කිරීමකි.

පහත් බිම්වල තැනුනු, වැදි ජනයාගේ නිවාස එතරම් ශක්තිමත් ඒවා නොවේ. කූඩාරම් හැඩයට තැනුණු මේවායේ වහලවල් තණපත් වලින් හෙවිළි කර තිබේ. එම නිවාස වල ඉදිරිය නිතරම එළිකොට තිබුණේ ඇණ සිටීම, නිදාගැනීම, ඉවීම, අතිරික්ත මුවමස් වියලා ගැනීම වැනි කාරණා සඳහාය. ගම් වැද්දෝ සිය නිවෙස් වල බිත්තිවලට කටු මැටි ගැසුහ. කෙසේ සෑදුවද, මෙවැනි වාසස්ථාන සුළු කාලයකින් අත හැර යෑමට ඔවුනට හැකිවිය. ඇතැම් විට ඔවුන් වගා කළ හේන් අත් හැර ගියේද මෙලෙසමය. අස්වද්දන කාලයට හේන් අසල ගෙයක් තනා ගන්නා ඔවුහු, හේනෙහි පල නෙලා ගත් වහාම ඉන් නික්මෙති. සිංහල ගම් වැසියෝ පවා භූත දෝශ හෝ වසංගත රෝග පැතිරුණු අවස්ථාවල මෙලෙස තම ගම් බිම් හැර දමා වෙනත් ජනාවාස තනා ඒවායේ පදිංචිවූහ.


ආහාර පාන
පලතුරු, අල වර්ග, මීපැණි, හා දඩමස් මොවුන්ගේ ප්‍රධාන ආහාර විය. තලගොයි, වල් ඌරු මස් මෙන්ම මුවමස් ආහාරය සඳහා ගත් ප්‍රධාන දඩමස් වර්ග විය. කුරක්කන් වැනි ධාන්‍ය වපුරාගත්තද, මේ සඳනා ඔවුන් බිම් හෙලිපෙහෙලි කළේ වල් පඳුරු ගා දැමීමෙනි. ගසක් දෙකක් කැපූ නමුත් අස්වැන්න ගත් පසු කැලෑව නැවත වැවෙන්නට ඉඩ හැරීම ඔවුන්ගේ සිරිත විය. මේ හැර සිංහලයන් මෙන් නිවාස අවට රතු මිරිස්, වැටකොලු, මුං ආදියද සුලු වශ-යෙන් වැවූහ.

පැහැයෙන් සුදුවූ, තලගොයි මස් සිහින්වට කපා, එහි මේදයේ දවටා, උණු අලු ගොඩේ තැම්බීම මොවුන්ගේ රසවත් ආහාරයක් විය. එසේම වැදි ජනයා ඉතා කුඩා දුඹුරු වර්ගයේ වඳුරන් හැර සෙසූ වඳුරන්ද ආහාරයට ගත්හ. එහෙත් දෙමළ ප්‍රදේශවල සිටිනා වැදි ජනයා වඳුරු මස් අප්‍රිය කරති. මීට හේතුව හින්දු විශ්වාසයට අනුව ඔවුන් “හනුමාන්” යනුවෙන් දෙවියකු ඇදහීම වන්නට ඇත.

මුහුදුබඩ වැද්දන් වැඩිපුර ආහාරයට ගන්නේ මසුන්ය. ඔවුහු විස ගෙඩි වර්ග දමා මාලුන් මත්කොට අල්ලා ගනිති. ඊයෙන් විදීමෙන්ද මසුන් මරති. වැදි ගැහැනුන් බිලීබාන්නේ නැත.
මොවුහු ගලක කුරක්කන් අඹරා, මුව හමක හෝ පළලැති කොලයක අ`ගලක් තරම් මහතට වඩා, හල්මිල්ල කොලවල ඔතා, ගිනි අගුරු මත තබා පුච්චති. ඒ උඩින්ද අගුරු දමති.

සෑම වැද්දෙක්ම පාහේ, (කැලෑ වැද්දන් පවා) කොහෙන් හෝ සොයාගත් බුලත් හා පුවක් කැබැලි විකුණුවෝය. එසේ නැත්නම් කැලෑවෙන් සොයාගත්, කැප්පෙටියා, දවට හෝ දෙමට පොතු විකුණති. මොවුහු පානයට ගන්නේ ගලා යන ජලය නොව ගල් තලවල එකතුවී ඇති ජලය ය. බොරදිය පානයට වඩා සුදුසු බවත්, ප්‍රනීත බවත්, ඔවුහු සිතති.
වැදි ජනයා කිසිවිටෙකත් ස්වභාව ධර්මයා අභිභවා ක්‍රියා නොකළෝය. ඉන් ලැඛෙන ආහාරයෙන් ජීවත්වූ මොවුහු එය රැකගෙන තමන්ද රැකුණාහ. එමෙන්ම එය ජයගත් නොහැකිවූ අවස්ථාවල සිය ජීවිතය පවා පිදූහ. කිසිවකු නොදැන වනයේ උපත ලබා වනයේ සිය දිවිය ගත කරනා ඔවුහු වනපෙතෙහිදීම සියල්ල අත් හැර දමා ගියහ.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>