Contact us now +61(0) 433 638 610

Articles

ඇයි මේ වොම්බැට්ලා මෙහෙ විතරක් ?

Posted in Nature by on August 6, 2014

- මුනිදාස වංශපුර
wombetla

ශ්‍රී ලංකාවේදී මෙන් ඕස්ටේ‍්‍රලියාවේදීත් මයිනන්, ගිරවුන්, කොබෙයියන් වැනි සතුන් නිතර දකින්නට ලැබුණත් කොටි වලසුන් හෝ අලි ඇතුන් වන්නාන්තර වල පවා දැකිය නොහැකිය. එසේම කැන්ගරුවන්, එකිඞ්නාවන් හෝ ප්ලැටිපසුන් ශ‍්‍රී ලංකාවේ කිසිදු ස්වභාවික පරිසරයක දකින්නට ලැබී නැත. අලි ඇතුන් අප‍්‍රිකාවේත් ආසියාකරයේත් විසිර සිටින අතර වලසුන්, ගෝණුන්, මුවන් ආසියාවේ, අප‍්‍රිකාවේ මෙන්ම යුරෝපයේ හා ඇමෙරිකාවේද පැතිර සිටිති. එහෙත් තාරා හොට ප්ලැටිපසා, එකිඞ්නා, වොම්බැට් හෝ කැන්ග වරුන් දකින්නට ලැබෙන්නේ ඕස්ටේ‍්‍රලියාව හා ඒ ආසන්න දිවයින්වල පමණි.

මේ අයුරින් සතුන්ගේ භූගෝලයීය ව්‍යාප්තියේ කැපී පෙනෙනෙ වෙනස්කම් දකින්නට ලැබෙන්නේ ඇයි ? කැන්ගරුවන්, වොම්බැට් ඇතුලූ අනෙකුත් පැසිපොව්වන් ඕස්ටේ‍්‍රලියාවට පමණක් සීමාවූයේ ඇයි ?

අලි ඇතුන් මෙන්ම කැන්ගරුවන් හා ප්ලැටිපසුන්ද ක්ෂීරපායි සත්ත්වයෝය. ඔවුහු කුඩාකාලයේ මවගෙන් කිරිබී වැඩෙති. එසේම ශරීරය ලොමින් වැසී තිබීම, බාහිර කණක් තිබීම, කණෙහි කර්ණ අස්ථි තුනක් තිබීම, හෘදය කුටීර හතරකින් යුක්තවීම, ගෙලේ කශේරුකා හතක් තිබීම වැනි පොදු ක්ෂීරපායි ලක්ෂණ දරති. එහෙත් කලල විකසනය පිලිබඳව සළකනවිට ඔවුහු එකිනෙකට වෙනස්වූ වර්ගීකරණ කාණ්ඩ තුනකට අයත් වූ සත්ත්වයෝය.

මිනිසා ඇතුළු අපේ ලංකාවේ සිටින සියලූ ක්ෂීරපායි සතුන් කලල බන්ධධාරී ක්ෂීරපායින් (Placental animals) වෙති. කලල අවදියේ ඔවුහු කලල බන්ධයෙන් ගර්භාෂ බිත්තියට සවිව සිටින අතර කුස තුළ සිටින තුරු තමාට අවශය ආහාර, ජලය, ඔක්සිජන් හා අනෙකුත් පෝෂණ ද්‍රව්‍ය කලලබන්ධය හරහා ලබා ගනිති. කාබන්ඩයොක්සයිඞ්, යුරියා හා අනෙකුත් නයිට‍්‍ර ජනීය අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේද ඒ හරහා ය. මෙනිසා මොවුන් ගර්භ කාලය තුළ හොඳින් පෝෂණය වන හෙයින් කුසින් පිටතට එන්නේ මනාව වැඩුනු සතුන් ලෙසය. මිනිස් පැටවෙකුට උපත ලද විගස ඇවිදීමට නොහැකිවුවත්, ඇත් පැටවුන්ට හෝ මුව පොව්වන්ට ඉපදී සුළු මොහොතකින් වුවද ඇවිදයාමට පුලූවන. ඒ තරමට හොඳින් ඔවුහු ගර්භාශය තුළ වැඩෙති. ඕස්ටේ‍්‍රලියාවේ සිටින මිනිසුන් හා මිනිසා විසින් එහි ගෙන එන ලද ඩිංගෝ බල්ලන්, අශ්වයින්, ගවයින්, බැටළුවන්, මුවන් හා ඔටුවන් වැනි සතුන් හැරෙන්නට රටට ආවේණික කිසිදු කලලබන්ධධාරී ක්ෂීරපායි සත්ත්වයෙකු නැත. මෙහි සිටින්නේ කිරි බී වැඩෙන සතුන්ගේ මුල් අවදි සිහිපත් කරවන ක්ෂීරපායි කාණ්ඩ දෙකකට අයත් සතුන්ය.

මෙයින් ප්ලැටිපස් හා එකිඞ්නා අයත් වන්නේ බිජුලන ක්ෂිරපායින් අයත්වන Monotrimata ගෝත‍්‍රයටයි. ඔවුන් කිරිබී වැඩෙන සතුන් වුවත් පැටවුන් ප‍්‍රසූත නොකරති. ඒ වෙනුවට බිජු ලති. එහෙත් බිජු හෙලන පක්ෂීන් හෝ උරගයින් ගේ මෙන් නොව බිත්තරවලින් පිටත එන මෙම පැටවුන් සිටින්නේ ඉතාමත් නොමේරූ තත්ත්වයේය. බිත්තරයෙන් පිටවූ විගස කුඩා පැටවුන් ලොම්වල එල්ලි, උදරයේ ඇති පැස තුලට පැමිණ ඒ තුළ කිරිබොමින් වැඩෙති.

ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන වශයෙන් දක්නට ලැබෙන වොල්බි, වොම්බැට්, කෝලා, කැන්ගරු වැනි සතුන් අයත්වන්නේ පැසිපොව්වන් හෙවත් Marsupialia ගෝත‍්‍රයටයි. ඔවුන්ගේ කලල විකසනය බිජුලන ක්ෂීරපායින් හා කලල බන්ධධාරීන් අතර තැනක් ගනී. ඔවුහු බිජු නොදමති, පැටවුන් ප‍්‍රසූත කරති. එහෙත් මවගෙන් පිටත එන්නේ ඉතාමත් නොමෙරූ කලල ලෙසය. ඔවුන්ද සියළු අග පසග ඇති සතුන් ලෙස වැඩෙන්නේ මවගේ පැස තුළදීය. කලල බන්ධධාරීන්ගේ ගැබ්කාලය දීර්ග වෙනවා මෙන් පැසිපොව්වන්ගෙ දීර්ග වන්නේ පැසතුළ ගෙවන කාලයයි. නිදසුන් ලෙස අලියෙකුගේ ගැබ් කාලය දින 645 කි. කැන්ගරුවෙකුගේ ගැබ් කාලය දින 33 ක් වන අතර පැස තුළ ගෙවන කාලය දින 225 ක් පමණ වේ.

මේ සියළු ක්ෂීරපායි සතුන් එකම පුර්වජ සත්ත්ව කාණ්ඩයකින් ඇරඹියද, අද ඔවුන් එකිනෙකාගෙන් ඈත්ව වෙන් වෙන්වූ භූමි ප‍්‍රදේශවල ව්‍යාප්තව සිටිති. සතුන්ගේ මෙම භූගෝලයීය ව්‍යාප්තිය පිලිබඳව සලකා බලනවිට එය අනාදිමත් කාලයක් තිස්සේ සිදුවූ දේශගුණික හා භූගෝලයීය විපර්යාස වලත්, ජීවීන්ගේ සිදුවූ ප‍්‍රවෙණික වෙනස්වීම් හා ඔවුන් අතර පැවති අසීමිත තරගයේ මෙන්ම මහාද්වීප ප්ලාවිතයේත් සාමූහික ප‍්‍රතිපලයකි. පැසිපොව්වන් ඕස්ටේ‍්‍රලියාවට පමණක් සීමාවීමද මේ සියල්ලෙහි ප‍්‍රතිපලයකි. මේ සියළු සාධක එකට සලකා බැලීම අපහසු කරුණක් බැවින් ඊට තුඩුදුන් ප‍්‍රධාන කාරණ ලෙස සැලකෙන මහාද්වීප ප්ලාවිතය පමණක් සලකා බලමු. අපට නිතර අසා පුරුදු ජුරාසික යුගයට පෙර ට‍්‍රයාසික යුගය වන විට මුළු ලොවම පැවතියේ තනි ගොඩබිමක් හා එකම මුහුදක් ලෙසිනි. පැන්ජියාව ලෙස හැඳින්වූ මෙම භූතලයෙහි ජුරාසික යුගය වනවිට කෘමීන්, මසුන් උභය ජීවීන් මෙන්ම උරගයින්ද බිහිව තිබූ අතර යෝධ ඩයිනෝසරයින් මිහිපිට රජයමින් සිටියහ. පාසි වර්ග මීවන හා විවෘත බීජ ශාක විකාශනය වෙමින් තිබිණ. මෙම යුගයේ අවසන් අවදිය වනවිට ක්ෂීරපායි සතුන්ගේ ව්‍යාප්තියද ආරම්භ විය. යෝධ ඩයිනෝසරයින් හමුවේ මීයෙක් තරම්වත් නොවූ ඔවුහු කුඩා පඳුරු අතර සුදුසු පරිසර සොයා යමින් සිටියහ.

world-map-old

මෙසේ කාලය ගතවෙද්දී මීට අවුරුදු මිලියන 180 ට පමණ පෙර තනි ගොඩබිමක්ව පැවති පැන්ජියාව, උතුරින්වූ ලොරේසියාව හා දකුණින් පිහිටි ගොඞ්වානාලන්තය යන ගොඩබිම් දෙකට වෙන්වීයාමේ සළකුණු පෙන්නුම්කරන්නට විය. එයින් උතුරු ගොඩබිම අද පවතින උතුරු ඇමෙරිකාව, යුරෝපය හා ආසියාවට අයත් භූ කොටස් වලින් යුක්ත වූ අතර දකුණු ගොඩබිම නූතන දකුණු ඇමෙරිකාව, අප‍්‍රිකාව, ඇන්ටාක්ටිකාව, නවසීලන්තය හා ඕස්ටේ‍්‍රලියාවට අයත්වන භූමිප‍්‍රදේශ වලින් යුක්තවිය.

තවත් අවුරුදු මිලියන ගනණාවකට පසුව එනම් මීට අවුරුදු මිලියන 120 ට පමණ පෙර දකුණු මහා ගොඩබිම වූ ගොඞ්වානාලන්තයද කැඞී වෙන්වන්නට විය. එහිදී පළමුවෙන් අද අප‍්‍රිකාව අයත්වන ගොඩබිම උතුරු දෙසට පාවී ගොස් ලොරේසියාවට අයත්වූ සෞදි අරාබි ප‍්‍රදේශයට යාවිය. ඉන්දියාවට අයත් වූ භූමි ප‍්‍රදේශය ඊසාන දෙසට ඇදී ගොස් හිමාලයද ඇතිකරවමින් ආසියාව හා බැඳුණි. මීට අවුරුදු මිලියන 80 ට පමණ පෙර නවසීලන්තයද ගොඞ්වානල න්තයෙන් වෙන්වී හුදකලා විය. එයින් පසු දකුණු ගොඩබිමෙහි ඉතිරිව තිබූ දකුණු ඇමෙරිකාව, ඇන්ටාක්ටිකාව හා ඕස්ටේ‍්‍රලියාව තවත් වසර මිලියන 35 ක් පමණ තවදුරටත් එකට බැඳී පැවතුණි.

එයින් පසු අදට අවුරුදු මිලියන 45 ට පමණ පෙර, ඕස්ටේ‍්‍රලියාව ඇන්ටාක්ටිකාවෙන් වෙන්වී උතුරු දෙසට ගමන් ඇරඹීය. අවසානයේ දකුණු ඇමෙරිකාව හා ඇන්ටාක්ටිකාවද එකිනෙකින් වෙන්විය. ඒ මීට අවුරුදු මිලියන 30 ට පමණ පෙරය. එහිදී දකුණු ඇමෙරිකාව උතුරු දෙසට ගමන්කර, ඒ වනවිට උතුරු ගොඩබිමෙන් වෙන් වෙමින් තිබූ උතුරු ඇමෙරිකාව දෙසට සමීප විය. ඇන්ටාක්ටිකාව තවත් දකුණු දෙසට ඇදී ගියේය.

මේ අතර උතුරු ගොඩබිම වූ ලොරේසියාවේද වෙනස්වීම් ඇතිවිය. එය මීට අවුරුදු මිලියන 50 කට 60 කට පමණ පෙර සුළු වශයෙන් දක්ෂිණාවෘතව කරකැවෙමින් උතුරු ඇමෙරිකාව, ග‍්‍රීන්ලන්තය, හා යුරේසියාව (යුරෝපය හා ආසියාව) ලෙස වෙන්වී ඇත. පසු කාලයක උතුරු ඇමෙරිකාව දකුණු ගොඩබිමින් වෙන්ව ආ දකුණු ඇමෙරිකාව සමග පටු බිම් තීරුවක් හරහා යා විය.

අදත් මෙම මහාද්වීප ප්ලාවිතය විවිධ මට්ටමින් සිදුවෙමින් පවතී. උතුරු හා දකුණු ඇමෙරිකාව, අප‍්‍රිකාව හා යුරෝපයෙන් අවුරුද්දකට සෙ.මි. 2 බැගින් ඈත් වෙමින් පවතී. ඕස්ටේ‍්‍රලියාව වර්ෂයකට සෙ.මී. එකක් පමණ උතුරු දෙසට චලනවන අතර ඉන්දියානු ගොඩබිමේ තල්ලූවී යාම නිසා හිමාලයේ උස තවමත් වැඩිවෙමින් ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් කාලාන්තරයක් තිස්සේ ඇතිවූ මෙම වෙනස්වීම් නිසා එම ගොඩබිම්වල ගංගා, කඳුවැටි වැනි භූ විශමතා ඇතිවූ අතර අලූත් මුහුදු හා සාගරද නිර්මාණය වූයේය. ගොඩබිම්වල ව්‍යාප්තිය අනුව ඒවායේ කැපී පෙනෙන උෂ්ණත්ව හා දේශගුණික විපර්යාසයන්ද ඇතිවිය. මේ අතර පෘතුවිය මත විවිධ සතුන් හා ශාකවල ආරම්භය, පරිණාමය හා ව්‍යාප්තියද සිදුවෙමින් පැවතුණි.

මෙහිදී අපේ අවධානයට ලක්වූ ක්ෂීරපායි සත්ත්වයින් ගැන සලකනවිට බොහෝ දෙනාගේ මතයට අනුව කලලබන්ධධාරීන් මෙන්ම පැසිපොව්වන්ද සම්භවය වී ඇත්තේ ආසියානු භූ ප‍්‍රදේශයේය. ජුරාසික යුගය අවසානයේදී ඩයිනෝසරයන් වඳවී යද්දී ක්ෂිරපායින් ඔවුන්ගේ නිකේතන යුහුසුළුව අත්පත් කර ගනිමින් සිටියහ.

ලැබී ඇති පොසිල සාක්ෂි අනුව, ක්ෂීරපායින් අතුරින් මුලින්ම සම්භවය වූ පැසිපොව්වන් එවකට යාවී තිබූ ගොඩබිම් මතින් ආසියාකරයේ සිට යුරෝපය හා උතුරු ඇමෙරිකාව ඔස්සේ දකුණු ඇමෙරිකාවට පැමිණෙන්නට ඇතැයි සැලකේ. පසුව ඔවුන් ඇන්ටාක්ටිකාව හරහා ඔස්ටේ‍්‍රලියාවට පැමිණ ඇත. ඒ වනවිට නවසීලන්තය ඈත්ව ගොස් තිබූ බැවින් ඔවුනට එහි ළගාවීමට අපහසු විය. කලලබන්ධධාරීන්ද මේ අයුරින්ම ව්‍යාප්ත වන්නට ඇති නමුත් ඔවුන් ඕස්ටේ‍්‍රලියාව ආසන්නයට පැමිණීමට පෙර එය ඒ වනවිට එහි සිටි පැසිපොව්වනුත් සමග ඇන්ටාක්ටිකාවෙන් වෙන්වී ඈතට පාව ගොස් තිබිණ. ඒ නිසා කලලබන්ධධාරී ක්ෂීරපායි සතුන්ට ඕස්ටේ‍්‍රලියාවට පිවිසීමට නොහැකිවිය.

එහෙත් ඕස්ටේ‍්‍රලියාව තුළ තනිවුනු පැසිපොව්වන් වෙනත් කිසිවෙකුගේ තරගයකින් තොරව ඒ මහා භූමි ප‍්‍රදෙශයේ සියළු පරිසර තුළ නිදහසේ ව්‍යාප්ත වූහ. ගොඩබිම උතුරු දෙසට පාවී යාමේදී සිදුවූ උෂ්ණ්ත්වයේ ඉහළ යාමත් සමග අලූතින් බිහිවුනු ගහකොලද ඔවුන්ගේ ස්ථාරත්වයට මහත් පිටුවහලක් විය. අදටත් මෙහි දකින්නට ලැබෙන්නේ එදා ඒ ස්ථාපිත වූවන්ගෙන් පැවත එන්නන්ය.

බිජුලන ක්ෂීරපායින් වන මොනොට්‍රමටාවන් ඕස්ටේ‍්‍රලියාවට පමණක් හිමිවීමද මේ අයුරින්ම සිදුවන්නට ඇතැයි බොහෝදෙනාගේ විශ්වාසයයි. එහෙත් තවත් මතයකට අනුව මොනොට්‍රමාටාවන් ඕස්ටේ‍්‍රලියාවේ සම්භවය වී දකුණු ඇමෙරිකාව දෙසට පැතිරී යන්නට ඇතැයිද සැළකේ. කෙසේ වෙතත් අද ලෝකයේ ජීවත්ව සිටින්නේ බිජුලන ක්ෂීරපායි විශේෂ දෙකක් පමණි. ඒ ප්ලැටිපස් හා එකිඞ්නාය. ඔවුන් ජීවත්වන්නේද ඕස්ටේ‍්‍රලියාවේ හා ඊට යාබද ටැස්මේනියාවේ පමණි.

මුල් කාලයේ උතුරු හා දකුණු ඇමෙරිකාවේත් පැසිපොව්වන් විසිරී සිටියද පසුව එහි පැමිණි කලල බන්ධධාරීන් විසින් ඔවුන් තරගකාරී ලෙස බැහැරකර ඇත. උතුරු ඇමෙරිකාවේ පමණක් පැසිපොව්වන් විශේෂ දෙකක් තවමත් ජීවත්ව සිටිති. එදා ඇන්ටාක්ටිකාව වෙතටද මාසුපිලීයාවන් (Marsupialia) පැමිණ සිටිමුත් එය තව දුරටත් දකුණට ඇදීගොස් හිමෙන් වැසීයාමත් සමග ඔවුන් ඇන්ටාක්ටිකාවෙන් සමුගෙනගොස් ඇත.

මේ නිසා බිජුලන ක්ෂීරපායින් මෙන්ම පැසිපොව්වන්ද අද ජීවත්ව සිටින්නේ ඕස්ටේ‍්‍රලියාවේ පමණි.

පැසිපොව්වන් ඕස්ටේ‍්‍රලියාවේ පැතිරී ගියාසේ, කලලබන්ධධාරීන් ආසියාව යුරෝපය, අප‍්‍රිකාව හා ඇමෙර්කානු ප‍්‍රදේශවල පැතිර ගියහ. ඔවුන්ගෙන් පැවත එන්නන් පසුව දිගින් දිගටම පරිණාමයට භාජනය වෙමින් ඔවුනට සුදුසු නිකේතනයන් අත්පත් කර ගත්හ. අද අලි ඇතුන් අප‍්‍රිකාව, ඉන්දියාව, බුරුමය වැනි රටවලත් ගෝණුන්, මුවන්, වැනි සතුන් ඕස්ටේ‍්‍රලියාව හැර ලෝකයේ සියළුම රටවලත්, දකින්නට ලැබෙන්නේ එහෙයිනි.

එහෙත් මේ විස්තරය සතුන්ගේ භූගෝලයීය ව්‍යාප්තිය ඉතා ලඝුකොට දැක්වීමක් බව කිව යුතුය. මක් නිසාද යත් ඊට තුඩුදෙන සතුන්ගේ සිදුවූ ප‍්‍රවේණික වෙනස්වීම්, පරිණාමික අභිනතීන් මෙන්ම යුගයෙන් යුගය සිදුවූ මහා න්‍යෂ්ඨවීම් හා මහා ව්‍යසනද අප විසින් මෙහිදී නොසලකා හල බැවිනි. තවද මිනිසෙකුගේ සේයාවක්වත් නුදුටු එම කාලයේ සිදුවීම් පිලිබඳව අප දන්නාදේට වඩා නොදන්නාදේ වැඩිය

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>