Contact us now +61(0) 433 638 610

Articles

මට වැරදුන තැන් – යමන් බණ්ඩො වෙසක් බලන්ඩ

Posted in ආකල්ප,කාලීන,ජීවිතය by on May 23, 2014

wesak thorana

අපේ අප්පච්චීට කරන්නට බැරි වැඩ දෙකක් තිබුණි. එකක් සරුංගල් හැදීම ය. අනෙක වෙසක් කූඩු හැදීම ය. පුංචි මගේ වදෙන් බේරෙන්න බැරි තැන දිනක් අප්පච්චී මට සරුංගලයක් හදා දුන්නා මතක ය. එය ඉරටු කූරු දෙකක් මැදින් බැඳ සෑදූ පැතළි සරුංගලයකි. සරුංගලයක් තනිවම සදා ගැනීමට බැරි වුනත් එය උඩ යාමට නම් බොක්කක් තිබිය යුතු බව මම දැන සිටියෙමි. කොතෙක් පැහැදිළි කළත් අප්පච්චිට සරුංගලයට බොක්කක් දැමීමට නොහැකි විය. මගෙන් බේරෙන්නම බැරි තැන ඔහු සරුංගලයේ ඉදිරි කොණේ නූලක් බැද එය පසුපස කොණට අල්ලා බැඳ සෑදූ බොක්ක ගැන මම නම් කිසිසේත්ම සතුටු නොවිමි. සියල්ලටම වඩා අප්පච්චී සරුංගලයේ නූල බැන්දේ ඉදිරි කෙළවරෙනි. සරුංගලයේ නූල බැඳිය යුත්තේ මැදින් බව මම ඔහුට පැහැදිළි කර දුන්නෙමි. එසේ කිරීමේදී සව් කොළ ඉරී යා හැකි බැවින් එම අදහසට ඔහු එක හෙළාම විරුද්ධවිය. සෑදූ සරුංගලය අප්පච්චී ඉහළට ඔසවාගෙන අල්ලාගෙන සිටියේ සුළං රැල්ලක් හමා එන තුරුය. මම නූල ඇද ගෙන තරමක් දුරින් සිටියේ ඔහුගේ අණ ලැබුණු සැනෙන් ඉදිරියට දිව යාමටය. විධානය ලත් සැනින් මම ඉදිරියට දිව ගියෙමි. ඒ අතර මදක් හැරී බැලු විට මා දුටුවේ ඉහළ යෑම කෙසේ වෙතත් බඹරයක් මෙන් නූල වටා කැරකෙවෙමින් ඉදිරියට ඇදී එන සරුංගලය ය. පසුපස බලන විට වේගය අඩුවේ. එවිට සරුංගලය පොළවේ වදී. එත් මට අවශ්‍ය වූයේ අහසට ඇදී යන සරුංගලයක් දෙස බලා සතුටු වීමට මිස ඩොග් ඩොග් ගා බිම දිගේ ඇදී යන සරුංගලයක් ඉදිරියෙන් දිව යාමට නොවේ.

අප්පච්චීගේ වෙසක් කූඩු සැදීමද මීටම දෙවෙනි නොවේ. මෙවැනි දුක්බර අවස්ථා කිහිපයක් නිසා අපේ අප්පච්චී වෙසක් කූඩු හෝ සරුංගල් හැදීමේ දක්ෂතාවයක් නැති අයෙකු හැටියට බැලැක් ලිස්ට් කිරීමට අකමැත්තෙන් වුවද එදා මට සිදුවිය. මා අම්මාට චෝදනා කළේ අපේ අප්පච්චිට සරුංගලයක් තියා වෙසක් කූඩුවක්වත් හදා ගන්න බැරි බව කියමිනි. අපේ අම්මා කිසිවිටෙකත් අප්පච්චීට විරුද්ධව මා පමණක් නොව අන් කවරෙක් වුවද එල්ල කරන චෝදනා ගැන වැඩි සැළකිල්ලක් නොදැක්වුවා ය. එබඳු චෝදනා ඉදිරියේ ගොළුවත රැකි අයෙකි, ඇය. අවසානයේ මම තනිවම නිගමනයකට එළැඹිමි. සරුංගල් හෝ වෙසක් කූඩු සම්බන්ධව අප්පච්චී මතු නොව අම්මාටත් ඇත්තේ ඉතා අල්ප දැණුමකි. මෙය පුතෙකුට දරා ගැනීමට අසීරු දුකකි. එමෙන්ම වේදනාවකි.

වෙසක් කාලයට තැන තැන ප්‍රදර්ශනය වන නිමෙන දැල්වෙන විදුලි බුබුළු අප සිත්හි දැල්වූයේ නොනිමෙන මතකයකි. තොරන් බැලීමට කැමති වුවද මා ඛෙහෙවින්ම අකමැති වූයේ අපාය බැලීමට ය. මහනුවර රජවීදියේ වෙසක් දිනක රඟදැක්වූ අපාය නැරඹීමට පියගැට පෙළක් සේ සිටි මාත් මගේ සහෝදරියෝ සිව් දෙනාත් ගියේ පුංචි අම්මා සමඟය. ඇය එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක වූවා ය. අපාය නරඹා තැතිගත් සිතින් එන අතර ඊළඟට අප නැවතුනේ ‘චන්ද්‍රා සිල්ක් හවුස්’ අසල ය. මහනුවර චන්ද්‍රා සිල්ක් හවුස් යනු එකල නුවර පෙරහැරේ අලි ඇතුන්ට ඇඳුම් පරිත්‍යාග කරන එමෙන්ම දර්ශණීය වෙසක් තොරණක් නගරයේ ඉදිකළ සුප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරයකි. මා දන්නා පරිදි එහි අධිපතිතුමා දමිළ ජාතිකයෙකි.

තොරණ නැරඹීමට විශාල සෙනඟක් පැමිණ සිටියේ ය. ඒ සෙනඟ අතර තෙරපුණු අපි පස් දෙනා සොයා ගැනීමට නොහැකිව පුංචි අම්මා විළාප තියා කෑ ගැසූ හඩ මට තවමත් මතක ය. මේ අතර එක්තරා මහතෙක් අපි පස්දෙනාත් පුංචි අම්මාත් සුරක්ෂිතව බේරාගෙන සෙනඟ මැදින් එළියට ආවේ ය. ඔහු මුලින්ම පුංචි අම්මාගෙන් ඇසුවේ “මේ ළමයි ඔක්කොම ඔයාගෙද ?” කියා ය. ඇය සිටියේ මොන ප්‍රශ්නයකටවත් පිළිතුරු දී ගත නොහැකි තරමට විපිළිසරව ය. අපායේ යමපල්ලන්ට බිය වී සිටි මා ඊටත් වඩා බිය වූයේ ළමයින්වත්, ගැහැණුන්වත් එහාට මෙහාට තෙරපන මිනිසුන්ට ය. නැවතත් හැරී බලන විට එක දෙයක් පැහැදිළිය. තොරන් බැලීමේදී ඒ ඇති වූ තෙරපීම වනාහී අද මෙන්ම එකලද සිටි කුපාඩියන්ගේ වැඩක් විය යුතු ය. ඔවුහු බුදුහු නොහදුනති. නොදකිති. ඔවුන්ට ජාතක කතා නොඇසෙති. ඉතාම මෑතක මා නැවතත් අපාය දුටුවේ ලංකාවේ සුප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමක විසින් මෙල්බර්න් නුවර විහාරස්ථානයකදී ප්‍රදර්ශනය කළ ති්‍රමාණ පරිඝණක මෘදුකාංගයක් ආධාරයෙන් සකස් කර තිබූ අපාය ය. ඒ අපාය නැරඹු විට ඇති අපට වූයේ බියක් නොව දුකකි.

අත්වැඩ බැරි වුවද අප්පච්චීට චිත්‍ර ඇදීමට තිබුණේ අපූරු හැකියාවකි. ඔහු චිත්‍ර අඳිනවා බලා සිටීමට ප්‍රිය ය. එහෙත් දන්නා කාලයක පටන් ඔහු චිත්‍ර ඇන්දේ මා සතුටු කිරීමට මිස වෙනත් හේතුවකට නොවේ. ඔහු වැඩිපුරම ඇන්දේ අලි ය. ඉදිරියටත්, පසුපසටත්, පැත්තටත් යන අලි රංචුවක් ඇඳීමට ඔහුට ගත වන්නේ විනාඩි දෙක තුනකි. ඊළඟට ඔහු ඇන්දේ මා කැමතිම බුදුහාමුදුරුවන්ගේ උඩු කය ය. එහෙත් මා අකමැති දෙයක් ද විය. ඒ කිසිවිටෙකත් ඔහු බුදු හාමුදුරුවෝ දෙනෙත් විවර කරගෙන සිටින ආකාරයට නොඇදීම ය. අවසාන වශයෙන් ඔහු ඇන්දේ අපේ අම්මාව ය. අම්මාව අදින්න පටන් ගන්නේත් බුදුහාමුදුරුවෝ අඳින පිළිවෙළටම ය. එහෙත් ඇස් ඇරලා ය. මේ මොනවා අඳින්නත් අප්පච්චිට ගත වන්නේ විනාඩි කිහිපයකි. අවශ්‍ය වන්නේ කොළයක් හා පැන්සලක් හෝ පෑනකි. මකන කෑල්ලක් අල්ලපු බව මට මතක නැත.

එකල වෙසක් මාසයේ සිත්තර චිත්‍රකතා පත්තරයත් සමඟ ඔප කඩදාසියේ මුද්‍රිත වෛවර්ණ බුදුහාමුදුරුවන්ගේ පිංතූරයක්, බුදුරැස් වලල්ලක් යනාදිය නොමිළේ ලැබේ. වෙසක් කූඩු ගැන ආශාව අතහැර සිටි එක්තරා වෙසක් දිනක අප්පච්චී නිවසේ තිබුණු දිග සහ පළළ මීටරයක් පමණ වූ පරණ ඝෘජු-ෆෝම් පියනක් ගෙන තොරණක් සෑදීමට පටන් ගත්තේ ය. මුළින්ම සිත්තර පත්තරේ තිබුණු බුදු පිංතූරය කාඩ්බෝඩ් එකක අලෙව්වේය. වේලූණු පසු එය කපා ගෝල්ලීෆ් පැකට් තුනක් එහි පිටුපසින් අලවා එය ඝෘජුෆෝම් පියනේ ඉහළට වෙන්නට ඇළෙව්වේ ය. බැටරියෙන් ක්‍රියාත්මක වන මෝටරයක රැස් වලල්ල සවිකර එය බුදු පිංතූරයේ හිසට පිටුපසින් සිටින සේ රැදෙව්වේ ය. ඊළඟට තවත් පරණ පත්තරයකින් කපා ගත් දේවානම්පියතිස්ස රජු මිහිදු හාමුදුරුවන්ට වැඳගෙන සිටින රූපයක් කපා ඝෘජුෆෝම් පියනේ පහළට වන්නට ඇළෙව්වේය. විදුලි බල්බ දෙකකුත් සවි කළේය. දැන් මා කල්පනා කරන්නේ සවසට වෙසක් බලන්නට නගරයට ඇදී එන ජනතාව අපේ නිවසේ පළමු මහළේ සවි කර ඇති අප්පච්චීගේ තොරණ දෙසත් ඇස්පිය නොහෙළා බලා සිටින අන්දම ගැනය. මට ඇත්තටම අවශ්‍ය වූයේ තවත් කොටු කීපයක් හෝ අළවා එක එක කොටුවෙන් වෙන දේ තොරණ බලන්න එන පිරිසට මයික් එකකින් පැහැදිළි කරදීමට ය. ඒත් ඒවා වැඩි වැඩය. මේ ද සිහිනෙන්වත් නොසිතූ දෙයකි. ඊළඟට රෑ වෙනතුරු ඇඟිළි ගැන්නෙමි. හවස හය පමණ වන විට ලයිට් දමා, බුදුරැස් වළල්ලත් කරකවා තොරණ විවෘත කළෙමි. පාරෙන් අනෙක් පසට ගොස් තොරණ නැරඹුවෙමි. බුදු රෑපයත්, දේවානම්පියතිස්ස රජුත් වෙසක් කාඩ් දෙකක් තරමටවත් නොපෙනෙන තරම්ම ය. බුදුරැස් වළල්ල කැරකෙනවාද නැද්ද කියාවත් හරියටම කිව නොහැකිය.

බාල වියෙන් පිටමං වී යොවුන් වියට පියමැන්නාට පසු එක්තරා වෙසක් සමයක අපි ඔලූ බක්කන් නැටුවෙමු. අන් අය විසින් සංවිධානය කරන්නට යෙදුනු අපා දර්ශනයන්ටද සහයෝගය දුන්නෙමු. ඒ අපාය පෙන්නා හෝ මිනිසුන්ව දහමට ළං කර ගැනීමේ වරදක් නැති බව සිතමිනි. ඉන්පසු යමක් කමක් හම්බ කරන්න පටන්ගත් පසු අප සේවය කළ ආයතනයේ ප්‍රධානීන් සමඟ එකතු වී වෙසක් තරඟ කිහිපයක් සංවිධානය කිරීමටද අපිදු උර දුන්නෙමුු. වෙසක් කූඩු තරඟය ඉන් එකකි. සාමාජිකයෝ හත් අටසීයක් සිටි බෞද්ධ සංගමයක කටයුතු කරන විට අප තුළ නිරන්තරයෙන් පැවතියේ තරඟකාරී ආකල්පයකි. ඒ අන්අයට වඩා ලොකු දෙයක් කරන්නට ය. අන් අයට පේන්න යමක් කරන්නට ය.
මේ කරුණු සියල්ලම අපේ මතකයට ආවේ පසුගිය දිනක අප දන්නා කියන වැඩිහිටිි කාන්තාවක කළ යෝජනාවක් නිසාවෙනි. ඒ යෝජනාවේ සරල අදහස මෙසේය. “මේ රටේ යමක් ලබා ගන්න ඕන නම් අපි අපේ බලය පෙන්නන්න ඕන. අපට මෙපමණ සාමාජිකත්වයක් තියනවා කියලා සාධක ඇතුව පෙන්නන්න ඕන. ඒ නිසා අපි මෙවර වෙසක් උළෙල ඕස්ට්‍රේලියානුවන්ට දැනෙන්න, ලයිට් දාලා, කොඩි දාලා, කූඩු හදලා බෞද්ධයන්ගේ බලය පෙනෙන විදිහට කරන්න ඕන.” වාසනාවකට හෝ අවාසනාවකට අද දවසේ එකී යෝජනා- වට එක එල්ලේම පිළිතුරක් දීමට අපට හැකියාවක් නොතිබුණෙන් එදින අපි මුනිවත රැක්කෙමු. ඒ වෙනුවට ඉහත සිදුවීම් සමුදාය සාරාංශ ගත කොට මට වැරදුනු තැන් කිහිපයක් ගැන මෙනෙහි කිරීම කාලෝචිත යැයි සිතමි.

මා අම්මා ඉදිරියේ අප්පච්චීට විරුද්ධව චෝදනා කරන විට ඇයගේ හැසිරීම කොතරම් ඥානාන්විත විද ? මා මතු නොව අන් කවරෙකු වුවද අප්පච්චී ගැන මොනම හෝ චෝදනාවක් හෝ නගන විට ඇය නිතරම හිටියේ අප්පච්චීගේ පැත්තේ ය. අප්පච්චීගේ වරදක් ඇත්නම් ඔහුට බත් ඛෙදන ගමන් ඒ ගැන හෙමින් පවසුවා ය. ඇය මටත් වඩා අපේ අප්පච්චීට මවක වූයේ එලෙසිනි. එකල මට ඒ ගැන දැනෙන්නට ඇත්තේ ඊෂ්‍යාවක් විය යුතුය.

අප්පච්චී බුදුහාමුදුරුවෝ අඳින විට ඇස් වසා ඇඳීම ගැන එකල මම සතුටු නොවිමි. එහෙත් පසු කාලීනව ඇස් මතු නොව කටවල්, නාසා පවා නොමැතිව, නොයේක් හැඩයේ රූප ඇදීමට අපට ධෛර්යය ලැබුණේද ඔහුට පිංසිදු වන්නට ය.

කුඩා කල අපාය ගැන ඇසූ කතා නිසා පවට බිය වීම කෙසේ වෙතත් රෑට තනිවම නිදාගන්න බැරි තරමට මා බිය වූ බව නම් සහතික ඇත්ත ය. එවැනි අදූරදර්ශී දේ හරහා ඇත්තටම සිදුවන්නේ දරුවන්ගේ සිත් වික්ෂිප්ත වීම ය. වික්ෂිප්ත වූ අයෙක් කෙසේ නම් යතාර්ථය ග්‍රහණය කර ගනී ද ? පසුගිය වසරේ අපායක් නරඹා වික්ෂිප්ත වූ කරදඩු උස්මහත් වූ අයෙක් ගැනද මම දනිමි. එහෙත් පසුකාලීනව ඔලූබක්කන් නටා, අපාය පෙන්නා හෝ දහමට මිනිසුන් ළංකර ගත යුතුයැයි සිතීමෙන් අපි නිවැරදිව කි්‍රයාකළා යැයි කෙසේ නම් සිතමු ද ?

අප්පච්චීට වෙසක් කූඩුවක් හෝ සරුංගලයක් නියමාකාරයෙන් හදා ගන්න බැරි වූ බව ඇත්ත ය. ඒත් දශක ගණනාවකට පසු මා කල්පනා කරන්නේ එදා ඔහු දැරූ ප්‍රයත්නය කොතරම් අගනේ ද කියා ය. වැදගත් වන්නේ සියල්ල නිවැරදිව කිරීම නොව කිසියම්ම හෝ දෙයක් දරුවන් සමඟ එක්ව කිරීම නොවේ ද ? අපි එදා වරද්ද වරද්දා හෝ වෙසක් කූඩු හැදුවේ, සරුංගල් හැදුවේ අන් අය ඉදිරියේ කැපී පෙනීමට නොව හුදෙක් අපේම සතුට වෙනුවෙන් නොවේ ද ? සතුටත්, දුකත් අපිම විඳ ගත්තා මිස ලෝකයාට අනුව අපි අපේ දුක සතුට ගැන තීරණ ගත්තේ නැහැ නේ ද ? අදටත් අපි අපේ ජීවිත වලට ළං කර ගත යුත්තේ මේ සරල න්‍යාය නොවේ ද ? පසු-කාලීනව කූඩු තරඟ පවත්වා, පළවෙනියා දෙවෙනියා වෙන්නට මිනිසුන් පෙළ ගැස්සවීම හරහා අපි ඇත්තටම ප්‍රදර්ශනය කළේ කවර නම් බෞද්ධකමක් ද ? සැබවින්ම එකල අප කළ කී දෑ ගැන දැන් අපට දැනෙන්නේ ලැජ්ජාවකි.

දැල්වූ ඉටි පන්දමක් ගසා ගසක එල්ලු බකට් කූඩුවක්හැමූ සුළඟට හසුව පිළිස්සී යද්දී අප තේරුම් ගන්නා අනිත්‍ය දර්ශනය බුදුහු දෙසූ දහමට කොතරම් සමීප ද ? කලක් එකිනෙකා හා තරඟ කරවීමටත්, අසරණ මිනිසුන්ගේ සිත් වික්ෂිප්ත කිරීමටත් වෙසක් පොහොය යොදා ගැනීම හරහා අපි බුදුහු දෙසූ දහමට නිගරුවක් නොකළ බව කෙසේ මතකයෙන් ඈත්කර දමමු ද ?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>