Contact us now +61(0) 433 638 610

Articles

ඔව් මට ඒඞ්ස්… ඒත්

Posted in කාලීන,ජීවිතය by on July 9, 2013

1862_44779996955_2814_n

ඇගේ නම පි‍්‍රන්ස් මංගලිකාය. කෙනෙකුට තම ජීවිත කාලය තුළදී ඇසීමට හැකි අතිශය වේදනාකාරී පුවත ඇගේ කණ වැටුණේ වසර 2001 ජූලි දෙවෙනිදා ය. ඒ ඇගේ සැමියා හට එච්. අයි. වී ආසාධනය වී ඇති පුවත කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් පවසා සිටි විටය.

‘‘හැමදේම එක පිට එක කඩා වැටුණා වගේ දැනුනට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. වෛද්‍යවරු අපේ හිත හදලා කරන්න ඕන උපදෙස් දුන්නා. කිසිවෙකුට මේ ගැන නොකියා සැමියා රැක බලා ගත යුතු ආකාරය ඔවුන් අපට කියා දුන්නත් හැම දේම කණපිට හැරුණේ එදා ? අපි ගමට එනකොට. රෝහලේ වැඩ කරපු සුළු සේවකයෙක් අපි ගමට එන්න කලින් මේ විස්තරය ගම හැම තැනම ප‍්‍රචාරය කරලා. මිනිස්සු අපේ ගෙදරට ගල් ගැහුවා. අපේ දරුවෝ දෙන්නා පාසල් ගියාම අනික් ළමයිගේ දෙමාපියෝ ඇවිත් ඒ අයව ගෙවල් වලට එක්ක ගියා. පංතියේ ඉතුරු වුණේ අපේ ළමයි දෙන්නා විතරයි. මේ දේවල් විඳගන්න බැරිව හිතේ දුක වැඩි කමට මහත්තයා සිය දිවි හානි කරගත්තා.’’

‘‘වසබීලා එයා කළුබෝවිල රෝහලට ඇතුල් කළාම රෝහලේ වෛද්‍යවරු එයාට ඒඞ්ස් කියලා දැනගෙන කොන් කරන්නේ නැතිව ජීවිතය ගොඩ ගන්න මහන්සි ගත්තා. රෝහලට ආපු ගිය අය වුනත් අපේ දුක දැනගෙන අපේ හිත හැදෙන්න කථා කළා. කළුබෝවිල රෝහල ගැන මම ගොඩාක් ආඩම්බර වෙනවා. මහත්තයා මැරෙනකම් ඔවුන් මට කළ ඇප උපකාර ගැන මම මගේ හද පතුළෙන්ම කෘතඥ වෙනවා.’’

‘‘මහත්තයාගේ ඇප උපස්ථාන කරන එකයි, ළමයිගේ වැඩයි හැම දෙයක්ම බලා ගන්න වුනේ මට. ගෙදරින් ගියේ නැති නිසා ගමේ මිනිස්සු අපේ ගේත් ගිනි තිබ්බා. දරුවන් දෙදෙනාට රෝගය වැළදී නොතිබුණු නිසා මම හිතා ගත්තා දරුවෝ දෙන්නා වෙනුවෙන් ජීවත් වෙනවා කියලා. මම මගේ මහත්තයා එක්ක හැර වෙන කවුරුත් සමග ලිංගිකව හැසිරිලා නැහැ. ඒ නිසා මට වෛරසය ශරීර ගත වුණේ මගේ මහත්තයාගෙන්. ඒත් මහත්තයාට වෛරසය ඇතුල් වුණේ කොහොමද කියලා මම දන්නේ නම් නැහැ. ඒත් එයා නිතර නිතරම විදේශ රට වලට ගිය කෙනෙක්.’’

කැඩපත පි‍්‍රන්ස් මංගලිකා හා කතා කළේ ඇයගේ දුක්බර ජීවිත කථාව නිසා නොව වෙනත් හේතුවක් නිසා ය. ඒ අද ඇය සිය අතීත දුක්බර අත්දැකීම් ඉවත ලා ඇය බඳු අසරණ රෝගීන් සහ ඔවුන්ගේ පවුල් වල සමාජික සාමාජිකාවන් වෙනුවෙන් කරන්නට යෙදෙන කාලීන සමාජ මෙහෙවර නිසාය. ඇතැම් ශී‍්‍ර ලාංකිකයෝ කායික හෝ මානසිකව පීඩාවට පත් වූ අය ගැන දක්වන දයාව, මෛති‍්‍රය හෝ කරුණාව බොහෝ විට විෂය මූලික ස්වභාවයක් ගනී. ප‍්‍රායෝගික තළයේදී ඔවූහු දූපත් මානසිකත්වයෙන් නොමිඳුනො නොවෙති. ඒ පමණක් නොව තමන් දූපත් මානසිකත්වයේ සිරව සිටින බවකුඳු නොදනිති. එහෙත් පි‍්‍රන්ස් තම පවුල පාරට ඇද දැමූවන් ගැන පවා අද බලන්නේ උපේක්ෂාවෙනි.

‘‘මට මෙච්චර කරදර ආවේ එච්. අයි. වී ආසාධිත රෝගීන් ගැන අපේ සමාජයේ මිනිස්සු තුළ තිබ්බ වැරදි ආකල්ප නිසා. ඒ ආකල්ප නැති කරන්නත්, මේ රෝගයට ගොදුරු වූ අය වෙනුවෙනුත්, තවත් අය රෝගයට ගොදුරු වෙන එක වළක්වා ගැනීමටත් අවශයයි කියලා මම සිතුවා. ඒ නිසයි ‘‘පොසිටිව් වුමන්’’, ‘‘කැදැල්ල’’ කියන ව්‍යාපෘතිය ආරම්භ කළේ.’’

කැඩපත – ‘‘පොසිටිව් වුමන්’’, ‘‘කැදැල්ල’’ කියන්නේ මොනවගේ ආයතනයක් ද ?

පි‍්‍රන්ස් – ‘‘කැදැල්ල’’ කියන්නේ ගොඩවැදීමේ මධ්‍යස්ථානයක්. එනම් රෝගයට ගොදුරු වූ අයට එන්න, යන්න හා නවාතැන් ගන්න තැනක් කීවොත් නිවැරදියි.

කැඩපත – කොහේද මේ මධ්‍යස්ථාන පිහිටා තියෙන්නේ.

එකක් වැල්ලවත්තේ අනික රාජගිරියේ.

කැඩපත – දැනට කරන සේවා මොනවාද ?

රෝහල්වල ඉන්න අය රැකබලා ගැනීම, රෝහල්වල සහ සායනවල නැති බෙහෙත් සහ පරීක්ෂණ සඳහා රෝගීන්ට ආධාර කිරීම, ප‍්‍රථිකාර සඳහා මග පෙන්වීම. රෝගයෙන් ආසාදිත අයගේ නිවෙස් වලට ගොස් ඔවුන් ගැන සොයා බැලීම, යන්න එන්න තැනක් නොමැති මහළු අය නේවාසිකව රැක බලා ගැනීම, උපදේශන සේවා සැපයීම, එච් අයි වී ආසාධිත දරුවෝ 26 දෙනෙකුට මාසිකව පෝෂ්‍යදායී ආහාර සැපයීම, එසේම මෙම පවුල්වල ආසාධනය නොවූ දරුවෝ 176 දෙනෙකුට වාර්ෂිකව පාසැල් උපකරණ, ඇඳුම්, සපත්තු ආදිය ලබා දීම. ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, තරුණ තරුණියන්ටත්, පාසල් මට්ටමින් හා ගම් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩ සටහන් බොහෝ ප‍්‍රමාණයක් පැවත්වීම. රෝගීන්ට ආදායම් මාර්ග සොයා දීම වැනි බොහෝ කටයුතු අප විසින් කරගෙන යනු ලබනවා.

කැඩපත – දැනට සේවකයෝ කී දෙනක් ඉන්නවාද ?

දැනට මේ ආයතනයේ වැඩ කරන සියලූ දෙනාම වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්. ඒ අය හැමෝම එච් එයි වී ආසාධිත අය. අපි තුන් දෙනෙක්ට විතරක් ඉතා සුළු ගෙවීමක් ලැබෙනවා.

කැඩපත – ඔබ ආයතනයට උදව් කරන්නේ කවුද ?

දැනට අපේ මධ්‍යස්ථාන වල කුළී ගෙවීම් පවා කරන්නේ සී. සී. එස් ආයතනය. එම සංවිධානය අපට ලබා දෙන උදව් උපකාර ගැන අනේකවාරයක් ස්තූති වන්ත වෙනවා. ඒ වගේම ලංකාව පුරා දැනුවත් කිරීම් හා උපදේශන සේවා පවත්වන පවුල් සංවිධාන සංගමය අති විශාල සේවාවක් සපයන බව කිව යුතුයි. ලිවින් විත් හෝප් ආයතනයත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

කැඩපත – රෝගීන් වෙනුවෙන් තවත් ආයතන පවතිද්දී ‘‘කැදැල්ල’’ නමින් තවත් ව්‍යාපෘතියක් ආරම්භ කළේ ඇයි ?

එක කාරණයක් නම් රෝගයට බෙහෙත් හේත් ලැබුණත්, එම බෙහෙත් භාවිතය නිසා ඇතිවන අතුරු ආබාධ ආදියට නොමිළේ බෙහෙත් සැපයීමක් කෙරෙන්නේ නැති වීම. ඒ අය පුද්ගලික මුදලින් බේත් හේත් ලබා ගත යුතුයි. ඒත් බොහෝ රෝගීන්ට රක්ෂාවල් නැහැ. අනික් කාරණය මේ හරහා රෝගීන්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට ලැබෙන දායකත්වය.

කැඩපත – සමාජයේ වැඩිපුර මේ රෝගයට ගොදුරු වී ඇත්තේ කෙබඳු අයද ?

හමුදා නිලධාරියාගේ පටන් ආගමික නායකයෝ දක්වා විවිධ මට්ටමේ පුද්ගලයෝ සිටිනවා. වැඩිපුර ඉන්නේ ගැහැණුන් සහ ළමුන්. නමුත් ඇත්ත වශයෙන්ම ඒඞ්ස් මර්දන ව්‍යාපෘතියට අනුව රෝගයට ගොදුරු වූ අයගෙන් වැඩි පිරිසක් පිරිමින්. කාන්තාවන්ගෙන් වුනත් සියයට අසූවක් සැමියාගෙන් බිරිඳට සැදුනු අය.

කැඩපත – යහපත් පවුල් ජීවිතයක් ගැන ඔබට විශේෂයෙන් දිය හැකි උපදෙසක් තිබෙනවා ද ?

ඒ ගැන විශේෂයෙන් යමක් කියන්න ඕන. බොහෝ විට සැමියා නිවසට එන්නේ වෙහෙස වෙලා. ඒත් ඔහු දන්නේ නැහැ බිරිඳත් දවස පුරා වෙහෙස වෙලා ඉන්න බව. වෙහෙස නිසාම බොහෝ විට බිරින්දෑවරු කායික සම්බන්දතාවයකට කැමති වෙන්නේ නැහැ. මේ හේතුවෙන් සැමියන් බොහෝ විට වෙනත් ආශ‍්‍රයන් සොයා යනවා. මෙහිදී විශේෂයෙන් කියන්න ඕන ඔබ දෙදෙනාගේ මානසික ස්වභාවය ගැන විවෘතව කතා කළ යුතු බව. එකිනෙකා එකිනෙකාට අවංකව ආදරය දැක්වීමේදී මොනම තත්ත්වයක් මත වුවත් වෙනත් ආශ‍්‍රයන් සොයා යෑමේ අවශ්‍යතාවක් ඇති වන්නේ නැහැ. අනෙක් කෙනොට ඇහුම් කන් දෙන්න. අනෙක් කෙනාව තේරුම් ගන්න. ඒ වගේම රැුක බලා ගන්න. ඒ ඔබෙන් ඔබේ පවුලට ඉටුවිය යුතු යුතුකමක්. සැමියාට, බිරිඳට වගේම ඒ හා සමානවම ඔබ ඔබේ දරුවන්ට ඉතා හොඳින් සවන් දෙන්න. ඔවුන් යන එන තැන් සොයා බලන්න. තරුණ දුවා දරුවන්ට කරුණු පැහැදිළි කර දෙන්න.

අවසාන වශයෙන් කිවයුතු යමක් තියෙනවා ද ?

කැඩපත පාඨකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබට හැකියාවක් ඇතොත් අප ආයතනයේ කුලිය ගෙවා ගැනීමට හෝ ස්වේච්ඡාවෙන් ආයතනයේ සේවය කරන අය වෙනුවෙන් හෝ එච් අයි වී ආසාධිත පවුල් වල දරු දැරියන්ෙගේ සුභ සාධනය වෙනුවෙන් ඔබට හැකි සුළු ආධාරයක් හෝ කළ හැකි නම් ඒක ලොකු පිනක්. මගේ දුරකතන අංකය 94(0)719184196

අප පි‍්‍රන්ස් මංගලිකා හා කථා කරන විට ඇය සිටියේ රෝහලේ ප‍්‍රථිකාර ලබමිනි. ‘‘ඇගට අමාරු වුණාට, මගේ හිත හය්යයි. ඒ නිසා ඕන දෙයක් අහන්න. මගේ පිංතූර දැම්මට කමක් නැහැ. අද මට රත්තරං බෑනලා දෙන්නෙක් ලැබිලා ඉන්නවා. ඒ වගේම මට අද මගේ මුණුපුරන්ගේ මූණු බලන්නත් වාසනාව ලැබිලා තියෙනවා. මං වගේ කිසිවෙක් නොදැන මේ රෝගයට ගොදුරු වූ අය වෙනුවෙන් වැඩ කරන්න ලැබීම සතුටක්. එදා අපේ ගේ ගිනි තිබ්බ ගමේ අයත් අද දැනුවත් වෙලා. ඒකත් කියන්න බැරි තරම් ලොකු සතුටක්.’’
දුරකථනය විසන්ධි කළ පසු අප කල්පනා කළේ පි‍්‍රන්ස් මංගලිකා නැමති කාන්තාවගේ අයෝමය පෞරුෂය ය ගැනය. ඒ වගේම ඇය අපට පවසන පරිදි ලොව සුන්දරම තැන අන් කිසිවක් නොව ‘පවුල’ නොවේද යන කාරණය ගැනය. සැබවින්ම කවර හෝ හේතුවක් නිසා හෝ අසරණ වූ අයටත්, කිසිදු හයක් හතරක් නොතේරී ආසාධනය වූ දරුදැරියෝ වෙනුවෙන් අපට වචනයකින් හෝ උදව්වක්, උපකාරයක් කළ හැකි නම් එය කොතරම් සතුටක් ද ?

Account Name : Positive Woman
Bank : National Saving s Bank
Branch : Rajagiriya
A/C No : 1-0117-014499-1

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>